අනේ අයියා මට පුරුද්දක් නෑ

Photoxpress_5547012

මේ දවස්වල මමත් ඉන්නේ පොඩි මානසික පීඩනයකින්. මොකද එකක් ඉවර වෙන්න තව එකක් ප්‍රශ්න. මගේ ප්‍රශ්න අහල ඔයාල කියයි “අපෝ ඕවත් ප්‍රශ්නද” කියලා. ඒත් ඉතින් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියල කතාවක් තියෙනවනේ. ඒක නිසා මගේ ප්‍රශ්න මට ලොකුයි. නෑ… නෑ… බය වෙන්න එපා. මං මේක ලියන්නේ මට තියෙන ප්‍රශ්න ටික කියෝ කියෝ අඬන්න නෙවෙයි. මට හම්බ වුණා මානසික පීඩනය ගැන කියවෙන පොඩි කතාවක්. මානසික පීඩනයකින් ඉන්න අයට තම තමන්ගෙ පීඩනේ තරම මැනගන්න මේ කතාව හොඳයි. මාත් මගේ තියන පීඩනේ මැනගත්තා. ඔයාලත් කියවල බලන්නකො මැනගන්න පුළුවන් වෙයිද කියලා. මුලින්ම කියන්න ඕනෙ මම මේක පත්තරෙන් හවුල ගත්ත එකක් . මං ඉතින් හුදී ජන පහන් සංවේගය උදෙසා ඒක එළ ගොසිප් එකේ දානවා විතරයි.

ඔන්න එක්තරා පුද්ගලයෙක් තමන්ගේ නවීන පන්නයේ මෝටර් රථයත් පදවගෙන මඳක් පාළු පාරක යමින් ඉන්නවා. හොඳ සින්දුවක් එහෙම අහගෙන ආතල් එකේ යන මේ මනුස්සය දකිනවා ටිකක් අෑතින් ලස්සන හුරුබුහුටි කෙලි පැටික්කියක් පාරෙ අයිනෙ හිටගෙන ඉන්නවා. අෑත වුණත් ඒ වගේ දෙයක් පේනවනේ සාමාන්‍යයෙන්. ඒක නිසා ඒ ගැන සැකයක් තියාගන්න එපා. යන ගමන් පොඩි ඇස් පාරක් ගහගෙන යන්න ඕන කියන පහන් සිතුවිල්ලත් එක්ක ඉදිරියට යන මනුස්සයා එක පාරට වොට් 33,000ක් වැදුණා වගේ ෆුල් අඤ්ඤකොරොස් වෙලා යන්නේ මේ ගෑනු දැරිවි කාරෙකට අත දාපු නිසා. අම්මා ගහයි බැට් එකෙන්. මේ පාළු පාරේ ඉඳන් මෙච්චර ලස්සන කෙල්ලෙක් මගෙම කාරෙකට අත දැම්මෙ ඇයි අප්පා කියලා මේ මනුස්සයගෙ හිතේ දහසක් ප්‍රශ්න මතුවෙනවා. මේකි හොරෙක්ද? නැත්නම් ඇත්තටම ලිෆ්ට් එකක් ඉල්ලන අහිංසක කෙල්ලෙක්ද? ප්‍රශ්න ලෝකයයි. ඒ කියන්නේ මේ පුංචි මානසික පීඩනයත් මනුස්සයගෙ හිතේ ඇති වෙනවා. මොනවා වුණත් අපරාදෙ කියන්න බෑ හිත හොඳ මනුස්සයා. කෙල්ලව පහුකරගෙන මීටර් 5ක් විතර ගිහින් ගහනවා බේ්‍රක් එකක් බරාස් ගාලා. ආයෙ රිවස් කරලා එනවා කෙල්ල ගාවට. මොකද මිනිහගේ හිත දැන් උණු වෙලා වැක්කෙරෙන ගානයි. ඉස්සරහා වීදුරුව පහත් කරල කෙල්ල පැත්තට එබෙනවා.

“ඇයි නංගි. කොහාටද යන්න ඕනේ?”

“අනේ අයියා… මාව හොස්පිටල් එක ගාවට පොඩ්ඩක් දාන්න පුළුවන්ද?” කෙල්ල ඇදලා පැදලා අහනවා. කෙල්ලගෙ මුකුළු කතාව ඉස්සරහ මිනිහට බෑ කියන්න බෑ. ඕන එකක් දෙකයි පනහයි කියලා මිනිහා ඉස්සරහ ‍ෙදාර ඇරලා කෙල්ලව වාහනේට නග්ග ගන්නවා. ඔන්න කෙල්ලවත් දාගෙන වාහනේ ඉස්සරහට ඇදෙනවා. අපේ කතා නායකයා කෙල්ල එක්ක පැණි බේරෙන චැට් එකක් දාගෙන වාහනේ ඩ්‍රයිව් කරනවා. හැබැයි තාම අර මානසික පීඩනය අඩු වෙලා නෑ. වීරයා වගේ නග්ගගත්තට මොන මරාලයක්ද දන්නෙ නෑනෙ.
කොහොමින් කොහොමින් හරි දෙන්නා හොස්පිටල් එක ගාවට ආවා කියමුකො. හොස්පිටල් එක ඉස්සරහින් කාර් එක නවත්තලා මිනිහා කියනවා “ඔන්න එහෙනම් මං මගේ යුතුකම කළා. දැන් නංගි ගිහින් බෙහෙත් ගන්න. මම යන්නම්. මෙන්න මගේ නම්බර් එක. ඕනකමක් වුණොත් කතා කරන්නකො” පෙනේද සත්ව කරුණාවක මහත.
මෙන්න ඊළඟට කෙල්ල කියපි.

“අනේ අයියා මට හොස්පිටල්වලට ගිහින් පුරුද්දක් නෑ. අනේ කරදරයක් නෙවේ නම් තරහ නැතුව මාත් එක්ක එන්න පුළුවන්ද. බෙහෙත් ටික ගන්නකම් විතරයි. අනේ ප්ලීස් අයියා…”
කටක් ඇරලා කෙල්ලට බෑ කියන්න මිනිහගේ හිත ඉඩ දෙන්නේ නෑ. මිනිහත් ඔන්න කෙල්ල එක්ක හොස්පිටල් එක ඇතුළට යනවා.

කෙල්ල ඩොක්ටර් කෙනෙක් ඉන්න රූම් එකක් ඇතුළට යවල පොර එළියෙ තියෙන පුටුවක වාඩියක් දාගෙන ඉන්නවා කෙල්ල ආයේ එනකම්. ඔන්න ටික වෙලාවකින් කෙල්ල එනවා ඩොක්ටර්වත් පෙරටු කරගෙන.
“ආ… මිස්ට ඔන්න සුබ ආරංචියක්. මිස්ටර් තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ” ඩොක්ටර්ගේ කතාවෙන් පොර ඩිම්පුල් වෙලා යනවා. ඔන්න තව පොඩි මානසික පීඩනයක් පොරට ඇති වුණා.
“අනේ නෑ ඩොක්ටර් මම මෙයාගෙ හස්බන්ඩ් නෙවෙයි. මම මෙයාට ලිෆ්ට් එකක් දුන්න විතරයි. කියන්නකො නංගි ඩොක්ටර්ට” ඩොක්ටර්ගේ වැරැදි වැටහීම නැති කරන්න පොර වචන ගළපනවා.
“අනේ බලන්න ඩොක්ටර් පෙනේද දැන් කියන කතාව. ඒ පාර මාව නිකම් ලිෆ්ට් එකක් ඉල්ලපු ගෑනියෙක් ගානට දාලා. මගේ බඩට ළමයෙක් දෙද්දි නම් ඔහොම කිව්වෙ නෑ. බඳිමුද ඇහුවම හැමදාම මඟඇරියා. අපේ මේ පිරිමි ජාතිය නම්, දැන් මේ දරුවත් එක්ක මාව තනි කරලා අත පිහිදාගන්නද හදන්නේ…”
කනේ පාරක් ගහනවා වගේ කෙල්ල කියපු කතාවෙන් මනුස්සයගේ මානසික පීඩනේ ඩබල් ටි්‍රබල් වුණා. මිනිහා දැන් කරුණු පැහැදිලි කරන්න උත්සාහ දරනවා. කෙල්ල වැලහින්නක් වගේ අඬනවා.
“මේක පොලිස් කේස් එකක්. අපිට මේ ගැන පොලිසියට දන්වන්න වෙනවා” මිනිහගේ මානසික පීඩනේ තවත් උත්සන්න කරමින් අන්තිමේදී ඩොක්ටර් කිව්වා.

පොලිසියෙන් ඇවිත් දෙන්නගෙන්ම ප්‍රශ්න කරනවා. එතැනදි වැඩි වාසිය කෙල්ලගෙ පැත්තට. අපේ කතානායකයට විරුද්ධව තමයි සියලු ප්‍රකාශ ඉදිරිපත් වුණේ. දැන් ඔන්න මිනිහගෙ මානසික පීඩනය හොඳටම නැඟලා. අන්තිමේදි වෛද්‍ය පරීක්‍ෂණයක් තියන්න ඕන කියන එකඟතාවකට ඇවිත් සාකච්ඡා නවතිනවා. ඔන්න පරීක්‍ෂණෙත් තියලා ඊට චුට්ටකට පස්සේ ඒකෙ ප්‍රතිඵලත් එනවා. හෝව්… හෝව්… මං මුලින් කිව්වේ නෑ නේද මේක ලංකාවෙ සීන් එකක් කියලා. එහෙම කියල තිබ්බ නම් මං බොරුකාරයෙක් වෙනවා. ඔය තරම් කාර්යක්‍ෂමව ඔය වැඩ වෙන්නෙ නෑනෙ මෙහේ. මේකත් ඇවිල්ල අර එකමත් එක රටක වෙන එකක් හොඳේ. ඔන්න ඉතින් වෛද්‍ය වාර්තාව බලලා ඩොක්ටර් කියනවා.
“අපිට සමාවෙන්න මිස්ටර්. අපිට ලොකු වැරැදීමක් වුණේ. අර ගැහැනු ළමයා ලොකු බොරුවක් කරලා තියෙන්නේ. ඔයාට පුළුවන් ඕනෙ නම් එයාට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කරන්න”
“ඇයි ඩොක්ටර් මොකක්ද වාර්තාවෙන් කියැවෙන්නේ” ඉවසිල්ලක් නැති නිසා මිනිහා මැදට පැන්නා.
“මේ වාර්තාවේ හැටියට මිස්ටර්ට දරුපල නෑ. මිස්ටර්ට දරුවන් හදන්න හැකියාවක් නෑ. ඒක නිසා ඔප්පු වෙනවා…”

ඩොක්ටර් ඊළඟට කිව්ව මෙලෝ දෙයක් මිනිහට ඇහුණෙ නෑ. මොකද මිනිහගේ හිත ඒ තරම් සතුටකින් පිරිලා ගිය නිසා. ආයේ නිකන් නඩු පටලවගෙන අහක යන ටින් කිරි ගාගන්න පොරට ඕන වුණේ නෑ. ඒක නිසා පොර හැරෙන තැපෑලෙන් ආයෙමත් ගෙදර එන්න පිටත් වුණා.
ලෝක අමාරුවකින් නූලෙන් බේරිච්ච සතුටත් හිතේ රඳවගෙනම මිනිහා ඔන්න ගෙදරට ආවා. කාර් එක ගැරේජ් එකේ පාර්ක් කරලා එළියට බහිනවත් එක්කම පොරගේ දරුවො දෙන්නා “තාත්තේ” කියාගෙන ඇවිත් මිනිහගේ කකුල් දෙක බදාගත්තා. “අප්පද බොල. මට දරුපල නැත්නම් මුන් දෙන්නා කාගෙද” ‍ෙදාර උළුවස්ස ගාව හිටගෙන තමන් දිහා ආදරණීය විදියට බලන් ඉන්න ප්‍රිය බිරියගේ මඳ හිනාව අතරින් එක පාරටම මනුස්සයගෙ ඔළුව ගිනි ජාලාවක් වුණා.ඔන්න දැන් තමයි නියම මානසික පීඩනය මොකක්ද කියන එක මිනිහට වැටහෙන්න ගත්තේ.

Share Button

Add a Comment