අවධානය + සුපරික්ෂාකාරීව = ආරක්‍ෂාව

අපි ගන්න සමහර තීරණ, අනතුරකින් කෙළවර වෙන්න පුළුවන් කියලා, ඒ දේ කරන්න ස්වල්ප මොහොතකට කලින් අපිට දැනෙනවා නේද? ඒ හැඟීම කවදාවත් නොසලකා හරින්න එපා. එහෙම දෙයක් නිකමට හරි දැනුනොත්, දෙවතාවක් නෙමෙයි, පස් හය වතාවක් හරි, කල්පනා කරලා තීරණය ගන්න. පාඩුවක් වෙන්නේ නෑ. බයික් පදින කොල්ලෝ කෙල්ලන්ටයි මේ විශේෂයෙන් කියන්නේ.

අලුතෙන් පාර කාපට් කරන තැන්වල, පාරේ බාගයක් කාපට් කරලා අනිත් පැත්ත කාපට් කරනකං, ඒ ගැට්ට ආරක්‍ෂා කරගන්න පාර මැද්දේ හයිකරලා තියෙන බොක්ස් බාර් එක ගොඩක් අය දැකලා ඇති. ඕක මර උගුලක්!
කවදාවත් එහෙම තැන් වල බයික් එක ඕවර්ටේක් කරන්න එපා, විශේෂයෙන් වැස්ස වෙලාවට. අනතුරු අඟවන්න කියලා මේ ගැට්ටේ හරහට සුදුපාට ඉදිර අන්දාට වැඩක් නෑ. ඒක සුදුසු විදියට තාර ටිකක් දාලා ආනතියකට සකස් කරන්න, පාරවල් හදන නිලධාරීන්ගේ අවධානය යොමු වෙන්න ඕන. මම වැටිලා ඉද්දීම, තව බයික් එකක් ඒ විදියටම ඔය බාර් එක නිසා අනතුරට ලක් වුනා. මේ විදියට රටපුරා කීදෙනෙක් මෙහෙම අනතුරට ලක්වෙනවා ඇත්ද?

අද උදේ වැඩට යන්න පරක්කු වෙලා තිබුණ නිසා, කවදාවත් නොකරන විදියට ඔය ගැට්ටෙන් පල්ලෙහාට බයික් එක දාලා, බස් එක ඕවර් ටේක් කළා. ඔන්න ඊට සුළු මොහොතකට කලින් තමයි මට ඔය සිතිවිල්ල පහළ වුනේ. ඕවර් ටේක් කරන්න කලින්ම, ඈතින් ටිපර් එකක් එනවා දැක්කා. “මේ ගැට්ටෙන් බිමට දැම්මොත්, ඉස්සරහින් එන ටිපර් එකෙනුයි, පස්සෙන් එන බස් එකෙනුයි බේරගෙන, වැස්සට තෙමිලා තියෙන බොක්ස්බාර් එකෙන් ලිස්සන්නේ නැතිව පන්නලා, ආයෙම උඩට දාගන්නේ කොහොමද?” කියලා බස් එක ඕවර්ටේක් කරන්න මොහොතකට කලින් හිතුනා. නමුත් ඒ premonition එක ගණන් නොගැනීම නිසා මෙන්න මේ විදියට වන්දි ගෙවන්න වුනා.

මනුස්සයෙක් කරදරයක වැටුනාම, ජාති ආගම් කුළමල භේද වගේ, ඊනියා බෙදීම් සේරම අමතක වෙනවා. වීඩියෝ වලින් දැකලා තිබුනාට, කෙනෙක්ට අනතුරක් වුණාම, නන්නාඳුනන කීදෙනෙක් උදව් කරන්න දුවගෙන එනවාද කියලා අද තමයි හරියට අත්දැක්කේ. වැටිලා ඉද්දී උදව් කරන්න ආපු, හදවත ලස්සන ගොඩක් මිනිස්සු හිටියා. ඒ කාවවත් මම මීට කලින් දැකලත් නෑ, අඳුනන්නෙත් නෑ. නමුත් මේ සිද්ධියට සම්බන්ධ කෙනෙක් මේ පොස්ට් එක අහම්බෙන්හරි දැක්කා නම්, මම අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ, ඔබ දිගුකළ මනුෂ්‍යත්වයේ දෑතට ඔබට ස්තුති කරන්න මේ අවස්ථාව මම අරගන්නවා. හිටගන්නවත් බැරුව ඉන්න වෙලාවේ, බයික් එක උස්සලා අයිනට කරලා නවත්තපු මල්ලිටත් බොක්කෙන්ම ස්තුතියි.

මේ හැමදේම අතරේ, අන්තිම වෙනකංම මාත් එක්ක හිටියා තවත් හදවත ලස්සන මනුස්සයෙක්. ෆුට් රෙස්ට් එක නැවිලා, ගියර් දාගන්න බැරුව බයික් එක තල්ලු කරගෙන යන්න හදද්දී, මුළු ශරීර ශක්තියම යොදලා, මිටියෙන් ගහලා, බයික් එක පැදගෙන ඔෆිස් එන්න පුළුවන් තත්වෙට හදලා දීපු Nishantha Pathirage අයියාට මගේ හදවතේ ප්‍රණාමය පුදකරන්නත් මේක අවස්ථාව කරගන්නවා. තනිවුනු වෙලාවක, වචනෙකින් හරි උදව් කරපු හැමෝටම මගේ ප්‍රණාමය! රෙස්පෙක්ට්!!

-Shazin muhammad

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *