ඇය යන්න ගියා මැකිලා….

Alone-girl-winter-session-polar-place-art-hd-wallpapers

කෙනෙකුගේ දුරස් වීමෙන් නැගෙන වියෝව කොයි කාටත් පොදු දහමක්. සොබාදහමට වුණත් ඒ දේ උරුමයි. වියෝවෙන් නැගෙන විරහව පෙර නොවූ විරූ ආකාරයට කියැවෙන ගීත අතර මේ ගීතය සුවිශේෂී වන්නේ සාමන්‍ය සිදුවීමකට එහා ගිය කතාවක් නිරුපණය වන නිසාමයි. අමරසිරි පීරිස් නම් වූ අග්‍රගන්‍ය හඬ පෞරුෂය තුළින් ශ්‍රාවක හදවත් ස්පර්ශ කරන මේ පද සංකල්පනාව සුනිල් සරත් පෙරේරාගෙනි. සංගීත නිමැවුම එච්. එම් ජයවර්ධනයන්ගෙනි.

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුලක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා

ඇය යන්නට ගොසිනි. මැකී යන්න යාම යනුවෙන් කියවෙන්නේ කිසිදා නොඑන්නට යාම වියහැකියි. ඇය සිටින විටදී කළ දෑ අපූරුවට වචන බවට පත්වී ඇත්තා සේය. ගී කියමින් කාලය ගත කර ඇති බව සුන්දරත්වය අත්විඳි අයුරු මොනවට කියාපායි. වන සිරසක හා තුරු වදුලකට උඩින් ගීත ගායනා කරනවා යැයි පැවසීම සොබාදහම හා බැඳි සිද්ධියක් වනවාට සැකයක් නොමැත. පිණි කඳුළු ආකාරයට ජලය මල් පෙති මත රැඳෙන්නේ වර්ෂාවෙන් පසුවයි. මිහිදුම් සළුව, වැහි පොද නිසා ඇති වන්නක්. ඒ ආකාරයෙන් බැලූ කල මේ යන්නට ගිය ඇත්තිය, වර්ෂාවදෝ යි සැකයක් ඇති වෙයි.

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොළුවු හදකින්
යන්න ගියා මැකිලා

සඳ එළිය වැටී නිලට නිලේ බබළන්නේ උස්ව නැගෙන කඳු පෙළයි. සඳ පායන්නේ පැහැදිලි අහසකයි. පැහැදිලි අහස උදාවීමට නම්, අදුරු අහස සමඟම වැස්ස වියැකී යා යුතුයි. එබැවිනි පවසනුයේ දුරකට යන්නට සඳ එළිය තුළින් පාර කියූ බව. ඒ යන්න යාම රහසක් සඟවා තබා ගොස් ඇත්තා සේ පෙනෙයි. සැබවින්ම ඒ වියෝවෙන් හදවත දුකිනි. ඇය ගොසින්ය.

යළි කවදාවත් හමු නොවෙනා බව
මද පවනක් හිස අතගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසිදින
ඇය යළි නොඑතැයි ගිම්හානයට පෙර

මද පවන හමන්නේ ඇය ගිය පසුයි. හිස අතගාමින් පවන පවසන්නේ ඇය නැවතත් නොඑනා බවයි. නමුත් ගිම්හානයට කලින් ඇය එන බව සිතෙයි. ගිම්හානය ග්‍රීෂ්ම කාලයයි. ඒ කාලයේ කෙසේවත් වර්ෂාවක සේයාවක්වත් දැනෙන්නේ නැත. පවන තමාගේ හිස අතගාන බව, තුරු වදුලු වලට ඉහළින් ගී කියමින් තමාට තුරුලු වූ වර්ෂාව නම් වූ අපූරු සබැඳිය ගැන පවසන, ඇගේ වියෝවෙන් දුක්වන මේ ජීවය පරිසරයම මිස වෙන කවුරුද?

Share Button

Add a Comment