මේ මියැදෙන්නේ අපට පණ දුන් මවයි!

ඔබටත් මටත් ජීවය දුන් මේ සොබාදහම කෙතරම් කෙනෙහිලිකම් වලට පාත්‍ර වන්නේද? ඒ ගැන සිතන්නට ඔබට පුංචි හෝ ඉඩකඩක් ලැබුණාද? සමහර විට ඔබ දැනුවත්කමින් පරිසරයට හානි පමුණුවන අයෙක් වන්නට පුළුවන්. සමහර විට ඔබ කරන ක්‍රියා වලින් පරිසරයට වන හානිය පිලිබඳ දැනුවත් අයෙක් නොවන්නටත් පුළුවන්. තවත් සමහර විට ඔබ පරිසරයට වන හානි ගැන දැක, ඊට නිසි පියවර නොගන්නා නිහඬ අයෙක් වන්නටත් පුළුවන්. මේ කුමන වර්ගයක වුවත් ඔබේ වගකීම යුතුකම වලපල්ලට ගොස් ඇති බව අමුතුවෙන් කියන්නට අවැසි කාරණයක් නොවන බව කිව යුතුමය.

සිතන්නට පතන්නට වෙලාවක් නොමැති යාන්ත්‍රික ලෝකයේ තාක්ෂණයේ භාවිතාව නම් කිසි අඩුපාඩුවක් නැත. ගීතයක් ශ්‍රවණය වන්නට ඔබට මද වේලාවක් වෙන් කර ගැනීමට අපහසු නොමැති ඇති. නැත්නම්, බස්රථයේ එදිනෙදා ඔබ ගමන් කරන විට ශ්‍රවණය වන්නටත් පුළුවන. එසේත් නැත්නම් අන්තර්ජාලයේ පිහිටෙන් ඔබට අහන්නට වුවමනා ගීතයක සොයාගැනීමට පසුබට නොවනවා ඇති.

ආදරය, විරහව ගැන සියගණනින් ලියැවෙන ගීත අතර දෛනිකව සොබාදහමට වන අගතිය, විනාශය පිළිබඳ සිහිගන්වන ගීත අල්පේච්ඡ ප්‍රමාණයක් පැවතීම ගීත කලාව තුළින් අපට සොබාදහම ගැන සිතන්නට ඇති පරිකල්පනය බොහෝසෙයින්  ඈත් කරවීමක් බව පෙනෙන්නට තිබෙන සත්‍යයි.

විද්‍යුත් හෝ රාජ්‍ය මාධ්‍ය නාළිකා තුළින් විකාශය කරවන අන්ත දුප්පත් මානසික මට්ටම් වල ආදර ගීත අතර විනාඩි තුන හතරක්, දෛනිකව මියයන පරිසරය වෙනුවෙන් සිහිකැදවීමක් උදෙසා යොදනොගැනීම ජාතියේ අවාසනාවක්ම වන්නේය. බොහෝ රටවල් සොබාදහම වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, මුදල් වැයකරමින් හා ඉන් ඔබ්බට ගොස් තම කලාවද ඒ උදෙසා භාවිතා කරන්නේ වඩා යහපත් හෙටක් සඳහාමය. ඒ අයුරින් සලකන කල අපි උනුන්ට වඩා බොහෝ පිටුපසිනි.

මේ පද පෙළ කන වැකුනු විගස ඔබට යමක් සිහිපත් වේවි. සිතන්න මදක්. ඔබ කොතරම් තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේද? එමෙන්ම ඔබගේ ජීවයේ හිමිකරු වෙනුවෙන් යුතුකම් ඉටු කරනවාද යන්න.

අහස හැඬුවාදෝ දුකින්
පොළව තෙමුනා ඒ කඳුළින්…
ගිගුම් හඬ දීලා වැටුන ඒ
වැහි පොදින් අහසින්
සේදුනා දෝ පව් අපෙන් වූ මිහිකතට සැබවින්

පින්බිමක් වූ ලක්බිමේ අපේ
කුමන අඩුවක්දෝ…
එවන් බිමකට නේද අප මේ
කුහකයින් වන්නේ…
මිනිසුනේ…
සිතමු දැන්
කියනු මට ඉවසයිද මිහිකත?

ගහක පල වැල නෙළන දෑතින්
ගහම වනසන්නේ
හිසට සෙවණක්
කුසට අහරක් නැතිව ලත වෙන්නේ
නොමැරෙනා විලසින්
දිවි ගෙවන්නේ මහපොළොව මත

කාලීන සිදුවීම් සමූහයක එක්හාසුවෙන් දෙනුවන් පෙරේරාගේ පද සංකල්පනාවකින් ජීවය ලබන මේ ගීතය දුලිප් මිරැන්ඩෝගේ හඬින් වර්ණවත් වන්නක්. ඔබට සිතන්නට බොහොමයක් කාරණා තිබෙන්නට පුළුවන්. නමුත් මේ පණිවිඩය පිළිබඳවත් ඔබ සිතා බැලිය යුතුමයි. ඒ අපව ජීවත් කරවන්නේ සොබාදහම නිසයි. සොබාදහම මියගිය කල ඔබෙත් මගෙත් ජීවිත අහෝසි වී යන නිසාය.

tumblr_mg50xjt7Uj1rxbbxdo1_500

Share Button

One Comment

  1. Ajith34 September 5, 2016

Add a Comment