කොල්ලො මහ නසරානි!

NUP_159137_1483

කෙල්ලො හොඳයි, මල් වගෙයි, අහිංසකයි, සුකොමලයි, හුරතල්…එතකොට කොල්ලො…! උං වල්, නසරානියි, ජිල්මාට්කාරයො, තක්කඩි නරකයි ළඟින් ගියොත් ඇහැක් නෑ…ඕක තමයි මහ සමාජෙ තියෙන පොදු කියවීම. මම හොයන්නෙ ඔය පින්තූරෙ හදපු එකා කවුද කියලා. ඒක තනිකරම කෙල්ලන්ට කඩේ ගිය එකෙක්ගෙ මතයක්. ඇයි ඔය මල් වගේ කොල්ලො නැත්ද අහිංසක කෙලේලො? එතකොට තක්කඩි කෙල්ලො නසරානි කෙල්ලො…! ඕන තරම් ඉන්නවා. ඒත් සමාජෙ හැම වෙලාවකම හිතන්නෙ මම පටන් ගත්ත තැනදි කියපු විදියට. ඒ නිසා කොල්ලන්ට කෙල්ලන්ට වඩා ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. වැරැදි කාරයො වෙන්න සිද්ධ වෙනවා. ඔක්කොම එකතු වෙලා කොල්ලන්ට වට කරගෙන ගහනවා. අපි ඒකට විරුද්ධයි.

දැන් කොල්ලෙක් කෙල්ලෙක්ට ගැහුවොත් මිනිසුන් කරන්නෙ අර කොල්ලව අල්ලගන්න එක. එතකොට කෙල්ලෙක් කොල්ලෙක්ට ගැහුවොත්… සමාජෙ හොයන්න පටන් ගන්නවා ඇයි ඒ ගැහුවෙ, මොකටද ගැහුවෙ කියලා. ඒ අතර තර්කයක් හදාගන්නවා. කෙල්ලෙක් ඉතින් නිකං කොල්ලෙක්ට ගහන් නෑනෙ කියලා. එතකොට කොල්ලො පව් නෑ. උන් රබර්. සමහර එවුං හිතාගෙන ඉන්නෙ කොල්ල කියන එකාට කොච්චර ගැහුවත් කමක් නෑ කියලා. ඒ විදියට බලද්දි කොල්ලො හරිම අසාධාරණයට ලක්වෙනවා එතැනදී.

මේක නම් හරි ප්‍රසිද්ධ කතාවක්. ඒත් කමක් නෑ මගේ ඇලපිල්ලෙ වෙනසට මේක ගාවගත්තෙ නැත්තං අපරාදෙ. දැන් කොල්ලෙක් ගෙදර ඇවිල්ල වමනෙ දැම්මොත් ගෙදර අය බනිනවා උඹ ඔය නැහැදිච්ච කොල්ලො එක්ක ආශ්‍රය කරලා තමයි මේ තත්ත්වයට වැටුණෙ, මට උන් අහුවුණ දෙන්කො, ඔය කොල්ලො හරි නරකාදී උන් කියලා. ඊළඟට කෙල්ලෙක් ගෙදර ඇවිත් වමනෙ දැම්මොත්…? ඒත් කියන්නෙ අරකම තමයි. පුදුම වැඩක් අම්මලා – තාත්තලා, අයියලා – අක්කල, නැන්දල _ මාමලා, බාප්පලා, පුංචි අම්මලා, ආච්චිලා, සීයලා ඇතුළුව සියලු නැදෑ හිතමිත්‍රාදීන් එකතුවෙලා හිතන්නෙ කෝකද. ඒ නැහැදිච්ච කොල්ලා කියලා එතකොටත් කියන්නෙ “ඔය කොල්ලො කියන උන් හරි නරකාදි උන්” කියලා. දැන් වෙලා තියෙන්නෙ කොල්ලන්ට අහස වගේ බැනුම් අහන්න ඇයි අහසින් වැස්සත් අහසට බනිනවා. පෑව්වත් අහසට බනිනවා. කොහොමත් අහස වැරැදියි.

දැන් කොල්ලො අතින් කෙල්ලන්ව අපහරණයට ලක්වෙනවා කියනවා. වැරැදියි තමයි. හරි ඒත්, ඕකෙ අනෙක් පැත්ත වෙන්න නැද්ද? ඒ කියන්නෙ, කෙල්ලො අතින් කොල්ලන්ව අපහරණයට ලක්වෙන්නෙ නැද්ද? එතකොට කොල්ලො කෙල්ලන්ව දාලා යනවා වැරැදියි තමයි හරි ඒත්, කෙල්ලො කොල්ලන්ව දාලා යන්නෙ නැද්ද? එතකොට කෙල්ලන්ට කොල්ලන්ගෙන් බස්වලදීත් කෝච්චිවලදීත් කරදර වෙනවා. ඒකත් ලොකු වැරැද්දක්. අපි පිළිගන්නවා. එතකොට කොල්ලන්ට කෙල්ලන්ගෙන් කරදර වෙන්නෙ නැද්ද? අත්දැකීමෙන් කියන්නෙ. එහෙම වෙනවා. මේ වගේ දිගට කියන්න ගියොත් ගොඩක් ඒව තියෙයි. ඒ නිසා කොයිකාටත් ඔය සමීකරණෙම ගළපා ගත්ත නම් හරි මේක තමයි මහ සමාජය විසින් හදාගත්ත තක්කඩි කියවීම.

අපි මේ කියන්නේ බුද්ධ කාලීන භාරතයෙ වගේ බ්‍රාහ්මණ සම්මතයට වැඩ කරමු කියලා නෙවෙයි. ඒ නිසා හැමදාම කියනව වගේ බඳින්න කලබල වෙන්න එපා. අපේ කියවීම සංස්කෘතික හැඩතලත් එක්ක සරල රේඛීය නොවෙන්න පුළුවන්. ඒත් අපි මේ හදන්නෙ 2500 වසරක මහරු අතීතය කඩල බිඳල කෑලි කරලා අලුතෙන් හදන්න නෙවෙයි. අපිට ඕන සංස්කෘතියෙ පෞරාණික වටිනාකම ආරක්‍ෂා වෙන විදියට අලුතෙන් වර්ණ ගන්වන්න. එතකොට තරුණ පරම්පරාවට පුළුවන් වෙයි මේක වෙන විදියකට කියවන්න.

අපි මේ කියන්නේ කොල්ලෙක්, කොල්ලෙක් වීම නිසාම පීඩාවට පත්වෙන්න ඕන නෑ කියලා. ඕනම තැනකදී ප්‍රශ්නයක් වුණොත් මිනිසු ගන්නෙ කෙල්ලන්ගෙ පැත්ත. ඒක හරි හොඳයි කෙල්ලො කියලා කියන්නෙ උප්පත්තියෙන්ම කොල්ලෙක් වගේ රළු – පරළු – ගොරෝසු විදියට සමාජේට මුහුණ දෙන්න හැඩ ගැසුණු සත්වයෙක් නෙවෙයි. ඒත් කෙල්ලො මේ සමාජ වපසරිය ඇතුළෙ තමන්ට තියෙන සමාජ හෘදයංගම බව වැරැදි විදියට පාවිච්චි කරනවා. සූදානම් වෙන්න… මේක අපි තවදුරටත් කියවමු, මහ සමාජයට අනුලෝමව නෙවෙයි ප්‍රතිලෝමව.

(ජීවන පහන් තිළිණ-මව්බිම)

Share Button

Add a Comment