ජනාධිපති ආරක්ෂක අංශයේ 5ක් රිය අනතුරකින් මරු දකිති

94821_dscn1762-copy

ජනාධිපති ආරක්ෂක අංශයට අයත් ඩිෆෙන්ඩර් ජීප් රථයක් ඊයේ උදේ මිනුවන්ගොඩ යාගොඩමුල්ල මිරිස්වත්ත හන්දියේදී පෞද්ගලික බස්රථ දෙකක ගැටීමෙන් එම ජීප් රථයේ ගමන්ගත් පොලිස් කොස්තාපල්වරුන් සිවුදෙනකු සහ පොලිස් කාන්තාවක මියගොස් තිබේ. මේ අනතුරින් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් ඇතුළු හයදෙනකු ගම්පහ රෝහලට ඇතුළත් කොට ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය. තුවාලකරුවන්ගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ පෙරවරු 10.30ට පමණ මේ පිරිස නිකවැරටිය ප්‍රදේශයේ රාජකාරි ගමනකට යද්දී ඔවුන් ගමන්ගත් ජීප් රථය පෞද්ගලික බස්රියකට ඉස්සර කිරීමට යෑමේදී ඉදිරියෙන් පැමිණි තවත් පෞද්ගලික බස් රියක ගැටීමෙන් මේ අනතුර සිදුවී ඇති අතර ඔවුන් ඉස්සර කර ගිය බස්රියද පිටුපසින් පැමිණ එහි ගැටී ඇති බව පොලිසිය පැවැසීය.

මේ අනතුරින් මියගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරුන් වන ඩී.එන්. ප්‍රේමදාස (රියැදුරු),
ඩී.එම්.ආර්. පුෂ්පකුමාර, එම්.ෂෙල්ටන් සිල්වා, පොලිස් කොස්තාපල් පොල්ගොල්ල සහ පොලිස් කාන්තාවක වන ඉසුරී ඉඳුනිල් යන අය බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත ජයකොඩි මහතා පැවැසීය.

ගම්පහ රෝහලට ඇතුළත් කොට ඇත්තේ උප පොලිස් පරීක්ෂක මීගොඩ, පොලිස් කොස්තාපල්වරුන් වන සිසිර කුමාර, පොල්ගොල්ල, අරුණශාන්ත සහ පොලිස් කොස්තාපල්වරියන් වන පූර්ණිමා සහ නයෝමි යන හයදෙනා බව පොලිස් මාධ්‍ය ඒකකය කීවේය. මේ අනතුරින් තුවාල ලැබූ එක් පොලිස් කොස්තාපල්වරයකු ශල්‍යකර්මයකට භාජන කර ඇතැයි ගම්පහ රෝහල් පොලිසිය සඳහන් කෙළේය. මේ අනතුර පිළිබඳ මිනුවන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(එම වීඩියෝව පහතින්)

(මවුබිම)

Share Button

Add a Comment