ජීවිතය අපට කියලා දෙන පාඩම් 7

ඔබ ඉගෙන ගන්න සූදානම් නම් ජීවිතය ඔබට උගන්වනවා සත්තයි. ඇත්තටම හොඳම අධ්‍යාපනය ජීවිතය තුළින් ඉගෙන ගැනීම. එම නිසා ජීවිතය සමහර පාඩම් අපට නිතර නිතර කියාදෙනවා. එහෙත් අපි ඒ පාඩම් තත්පර කිහිපයකින් අමතක කරනවා. නමුත් ජීවිතයත් ලෙහෙසියකට අතහරින්නේ නැහැ. අපි අමතක කරන පාඩම් ටොකු ඇන ඇන ජීවිතය අපට කියාදෙනවා. මේ එහෙම පාඩම් 7ක්.

1. ජීවිතයට තේරුමක් නැහැ නමුත් තේරුමක් දෙන්න පුළුවන්.
ජීවිතයට තේරුමක් තියෙනවද? එම ප්‍රශ්නය අහපු නැති තරුණ තරුණියන් හෝ මහල්ලෙක් ඉන්නවා කියලා හිතන්නත් අමාරුයි. ජීවිතය යනු කුමක්ද කියන ප්‍රශ්නය මීට වසර බිලියන 3කට කලින් ජීවයේ පැවැත්ම ඇතිවුණු දා පටන්ම සත්ත්වයා තවමත් උත්තරයක් හොයන ප්‍රශ්නයක්. නමුත් තාමත් එම ප්‍රශ්නයට විශ්වීය පිළිතුරක් ලැබිලා නැහැ. එම නිසා ජීවිතයේ තේරුම හරියටම හොයාගෙන ජීවත් වෙන්න උත්සාහ කළොත් සැබැවින්ම එය කාලය නාස්ති කිරීමක් වෙන්න පුළුවන්. නමුත් ජීවිතයේ තේරුම හොයනවාට වඩා වටිනවා ජීවිතයට තේරුමක් ලබාදීම. ලැබුණු ජීවිතයට තේරුමක් ලබාදෙන්නේ කොහොමද? ඔබගේ ජීවිතය ඔබට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරන්න. මහත්මා ගාන්ධි අවිහිංසාවාදයෙන් ජීවිතයට තේරුමක් ලබාදෙනකොට ඔබේ මගේ මවුපියන් යහපත් පවුල් ජීවිතයක් ගත කරලා තේරුමක් ලබාදෙනවා. ඔබගේ පැවැත්ම පමණක් තහවුරු කරන දේවලින් එහාට ගිහින් විශ්වයේ පැවැත්ම වෙනුවෙන් හුස්ම පොදක් හෝ හෙළීම මඟින් ජීවිතයට තේරුමක් ලබාදෙන්න පුළුවන්.

2. ඔබ අසාර්ථක වෙන්න වගේ නම් හැකිතරම් ඉක්මනින්ම ප්‍රසිද්ධියේ අසාර්ථක වෙන්න.
ජීවිතයේදී පැරැදෙනවා. අසාර්ථක වෙනවා, ඒ වගේම වරදිනවා. නමුත් ඒ හැමදෙයක් තුළින්ම ජීවිතයට ලැබෙන්නේ ජවයක් සහ ශක්තියක්. කිසියම් කෙනෙක් ප්‍රසිද්ධියේ අසාර්ථක වෙනවා නම් එයින් ලැබෙන ශක්තිය තවත් වැඩියි. මිනිස්සු වශයෙන් අපි අපේ ආත්ම අභිමානය ගැන ගොඩක් හිතනවා. අන්න ඒ නිසා අනෙක් අයට පෙනෙන්න පැරදෙනවාට අපි බයයි. නමුත් ඔබ අසාර්ථක වෙන්න වගේ නම් හැකි තරම් ඉක්මනින්ම ප්‍රසිද්ධියේ අසාර්ථක වෙන්න. මන්දයත් ඔබ රහසිගතව සෙමින් සෙමින් අසාර්ථක වුණොත් ඒක හදවතට දැනෙනවා අඩුයි. නමුත් ඉතා සුළු පිරිසක් ප්‍රසිද්ධ පරාජයන් දරාගත නොහැකිව සියදිවි හානි කරගෙන පවා තිබෙනවා. නමුත් එය ඉතා හොඳ විසඳුමක් නෙවෙයි. ප්‍රසිද්ධ පරාජයන් ජීවිතයේ ධෛර්යය පරීක්‍ෂා කරන විශිෂ්ට පරීක්‍ෂණවලට සමානයි. එම නිසා ජීවිතයේ එක්වරක් හෝ අවමානයට ලැජ්ජාවට පත්වෙලා පරාජය වෙන්න. ඒ රිදුම අනාගත ජයග්‍රහණයට හොඳ අමුද්‍රව්‍යයක් වෙනවා.

3. ලොකුම ආයෝජනය ඔබ වෙනුවෙන් කරන ආයෝජනයයි.
එදිනෙදා ජීවිතයේ ජීවත්වන මට වඩා අප සැම කෙනෙක් තුළම ඇතුළතින් තවත් මම කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඇතුළත ඉන්න පුද්ගලයා වඩා විශිෂ්ට වන තරමට පිටත පුද්ගලයා වඩා විශිෂ්ට වෙනවා. එම නිසා එම ඇතුළත ඉන්න පුද්ගලයා වර්ධනය කිරීම ඉතා වැදගත්. ඒ සඳහා නිරන්තර අධ්‍යාපනය සහ අධ්‍යයනය ඉතාම වැදගත්. අධ්‍යාපනය සහ අධ්‍යයනය නිරායාසයෙන් ලැබෙනවා. නමුත් තමන් තුළ ඉන්න මිනිසා ආලෝකමත් කරන්න පොතක් පතක් ගන්න, හොඳ සිනමා පටයක් බලන්න කීයක් හරි වියදම් කරන්න. සුළු වේලාවක් හෝ භාවනා කරන්න. එහෙමත් නැතිනම් අලුත් දෙයක් ඉගෙන ගන්න ලෝභ වෙන්න හෝ කම්මැළි වෙන්න එපා. මන්දයත් රී ලෝඩ් දාන්න, s.m.s. යවන්න කරන ආයෝජනවලට වඩා ඔබ තුළ ඉන්න මිනිසා වෙනුවෙන් කරන ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ අති විශිෂ්ටයි.

4. ඔබේ අසාර්ථකත්වයේදී දුක බෙදාගත්ත අය සමඟ සාර්ථකත්වයේ සතුට සමරන්න.
‘සාර්ථකත්වයට පියවරුන් දහසකි. නමුත් අසාර්ථකත්වය අවජාතකයෙකි’ කියලා කතාවටත් කියනවා. සාර්ථකත්වය ජීවිතයට ළං වෙද්දී මිනිස්සු මලට බඹරු සේ වට වෙනවා. නමුත් අසාර්ථකත්වයේදී එම බඹරුම අෑතට පියාඹලා යනවා. නමුත් සමහර මිනිසුන් අසාර්ථකත්වයේදී අතේ දුරින් නොසිට උදවු අවශ්‍ය කෙනාගේ හදවතට ළංවෙලා බලනවා. එහෙම අය සමඟ සාර්ථකත්වයේ සතුට සමරන්න තරයේ වගබලා ගන්න. මන්දයත් යළිත් වරක් ඔබ වැටුණොත් අත දෙන්න ඉන්නේ ඒ සුළු පිරිසම කියන කාරණය අමතක කරන්න එපා.

5. ඔබට වඩා දක්‍ෂ අය සමඟ වැඩ කරන්න.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම චීන ක්‍රිකට් කණ්ඩායම සමඟ තරගයක් තිබුණොත් චීන කණ්ඩායම පරදවා ශ්‍රී ලංකා කණ්ඩායමට සැබැවින්ම සතුටු වෙලා තම කණ්ඩායම දැන් උසස් තත්ත්වයක තියෙනවා කියන්න බැහැ. මන්ද යත් ඇස් පුංචි චීන්නු වෙන වෙන ඒවාට දක්‍ෂ වුණාට ක්‍රිකට්වලට අදක්‍ෂයි කියලා ලොවම දන්නවා. අන්න ඒ වගේ අදක්‍ෂයන් පරදවලා තමන් දැන් දක්‍ෂයෙක් කියලා හිතාගෙන කාලයක් වැඩ කළොත් එම පුද්ගලයා ජීවිතයේ දැවැන්ත අගාධයකට වැටෙනවා නියතයි. සෑමවිටම තරගකාරී වෙන්න. ඒ වගේම ආත්මාභිමානයෙන් ඕනෑම පිරිසක් සමඟ කරට කර වැඩ කරන්න.

6. තරුණ කාලයේදී හැකිතරම් අවදානම් ගන්න.
තරුණ කාලය කියන්නේ ජීවිතයේ ගින්දර වගේ දැවෙන යකඩ වගේ ශක්තිමත් අපූරු කාලයක්. මේ කාලයේදී කිසිම අවදානමක් නොගෙන සාමාන්‍ය එදිනෙදා ජීවිතයක් ගතකරන අයට පසුකාලයේදී ගොඩක් ගොඩක් පසුතැවෙන්න වෙනවා. ඒක නිසා තරුණ කාලයේදී මහන්සිවෙලා වැඩ ගොඩක් කිරීමත්, අවදානමක් අරගෙන වැඩ කිරීමත් ඉතා වටිනවා. අනවශ්‍ය දේවල් සම්බන්ධ අවදානම් නොගෙන ජීවිතය වියතකින් හෝ ඉදිරියට ගෙනයන්න දායක වන අවදානම් ගැනීම අතිශයින්ම වැදගත්.

7. උත්සාහ කරලා අසාර්ථක වීම මොකුත් නොකර සතුටු වෙනවාට වඩා දහස් ගුණයක් අගනේය.
‘මම පාඩම් කළේ නැහැ. ඒක නිසා මම විභාග ෆේල් වුණ එක ලොකු අවුලක් නෙවෙයි. අර එහා ගෙදර අරයා ගොඩක් පාඩම් කරලත් c එකක්නේ ගත්තේ. ඒ අතින් බලද්දී අපි කොයිතරම් හොඳද…’ ඔන්න ඔහොම කතා කියන අය නිතරම මටත් හමුවෙලා තියෙනවා. මට එවැනි පුද්ගලයන් ගැන ඇති වන්නේ දැඩි සංවේදනාවක්. මන්දයත් ඔවුන් තවමත් උත්සාහයෙන් ලබන පන්නරයේ හරය වටහාගෙන නැහැ. වරක් ලොව විශිෂ්ටතම පැසිපන්දු ක්‍රීඩකයෙක් වන මයිකල් ජෝර්දාන් පැවැසුවේ ‘මට පරාජය පිළිගන්න පුළුවන්. නමුත් උත්සාහ නොකර සිටීම පිළිගන්න බැහැ’ කියලා. උත්සාහ කර පරාජය වීම තුළ ඔබට ලැබෙන අත්දැකීම, දැනීම සහ දැනුම උත්සාහ නොකර පරාජය වීම තුළ කවදාවත් ලැබෙන්නේ නැහැ.

(උපුටා ගැනීමකි)
Share Button

Add a Comment