තරුණ බව රැකගන්න ලැබුණු අලුත්ම ඉඟිය

whole-and-sliced-pomegranates

ස්විට්සර්ලන්තයේ ස්වභාවික වෛද්‍ය පර්යේෂකයින් කණ්ඩායමක් විසින් සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව දෙළුම් ආහාරයට ගැනීමෙන් තරුණ බව රැකගත හැකි බව පසුගිය දා අනාවරණය වී තිබෙනවා. දෙළුම් බීජය මිනිස් ශරීරයට ඉතා හිතකර ලෙස බලපාන්නේ කුමන අයුරින්ද යන්න ඔවුන් සිය විද්‍යාගාර පර්යේෂණ වලින් නිරීක්ෂණය කර තිබෙනවා.

දෙළුම් බීජ වලින් පැනනගින  urolithin A නම් තනි අණුවක් සොයාගෙන තිබෙන අතර එය අවශෝෂණය වීමෙන් ශරීර ශක්තිය වර්ධනය වන බවත් වකුගඩු සෛල වල මනා ක්‍රියාකාරිත්වයට ඉවහල් වන බවත් ඔවුන්ගේ නිරීක්ෂණ අතරට ඇතුලත්. කෙසේ වෙතත් එහි නියම ප්‍රතිලාභය ලබා ගැනීම සඳහා නිසි පරිදි බඩවැලේ බැක්ටීරියා  ක්‍රියාකාරිත්වයක් තිබීම අත්‍යවශ්‍යයි. මන්ද පළතුරු කොටස් වලින්  urolithin A පරිවර්තනය කරගැනීමට ක්ෂුද්‍ර ජීවීන් අවශ්‍ය නිසා. මීයන් යොදා ගෙන සිදුකළ පර්යේෂණ වලදී, ඔවුන්ගේ ආහාර වල කොටසක් ලෙස එම පෝෂණ සංඝටකය අන්තර්ගත කරමින් පර්යේෂණ සිදු කර තිබූ අතර 45%කින් ඔවුන්ගේ ආයු කාලය වැඩි වූ බවත් සොයාගෙන තිබෙනවා. ප්‍රධාන පර්යේෂක Johan Auwerx පවසන්නේ මෙය වියපත් වීමට එරෙහි සිදු කරන පර්යේෂණ අතර ඉතා සුවිශේෂී කඩඉමක් බවයි.

“food of the gods” හෙවත් දෙවියන්ගේ ආහාරය ලෙස පුරාණයේ දෙළුම් හැඳින්වුයේ මෙවැනි අරුම පුදුම හැකියාවක් මේ පළතුර සතු වූ නිසාද? මධ්‍යම ආසියානු කලාපයේ ඉතා ජනප්‍රිය පළතුරක් වන දෙළුම් ශ්‍රීලංකාවේ වියළි කලාපයේ හොඳින් වගා කළ හැකියි. වසර පුරා මල් හටගන්නා අතරම දකින්නවුන්ගේ නෙත් පිනවීමට නිවස ඉදිරිපිට දෙළුම් පැලයක් සිටුවීම සුබදායි යැයි මතයක් ජන සමාජයේ පවතිනවා. ඉහත අපූරු ප්‍රතිලාභයට අමතරව තවත් සෞඛ්‍ය වාසි රැසක් දෙළුම් සතුයි. අජීර්ණය, පාචනය, ආමාශගත රෝග, කුෂ්ට රෝග, පාණ්ඩු රෝග, ක්ෂය රෝගය, ලාදුරු රෝගය ආදී රෝග රැසකට ඉතා ගුණදායි පළතුරක් වන දෙළුම් වමනය වලකන අතර ආහාර රුචියද වඩවයි.

 

Share Button

Add a Comment