තාජුඩීන්ගේ ගිනිගත් වාහනයේ කොටසුත් අතුරුදන් වෙලා

8670926cff071c81cb0bef82cacb936b_XL

අමානුෂික අන්දමින් ඝාතනය කළ බව කියන රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ කාර් රථයේ ඇතැම් කොටස් ගලවා ඉවත් කර ඇතැයිද, අදාළ රථය ගැටීමෙන් හානි සිදුවී ඇති ලෝහමය කොටස්වලින් ගිනි ගැනීමක් සිදුවිය නොහැකි යැයිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඊයේ (28දා) ලිඛිතව දැනුම් දුන්නේය.

තාජුඩීන්ගේ ම්ශ්‍රී -6543 දරන කාර් රථය සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් ලබාදෙන ලෙස අධිකරණ නියෝග අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) ජේ.ඒ.එන්. ජයවීර මහතා විසින් පිටු 6කින් යුත් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කරමින් එලෙස දන්වා සිටියේය.
අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා ලබාදුන් නියෝග පරිදි අදාළ කාර් රථයේ සිදුවී ඇති අනතුර සම්බන්ධව රජයේ අතිරේක රස පරීක්ෂක ඒ වැලිඅංග, ටොයෝටා ලංකා සමාගමේ කාර්මික උපදේශක ඩබ්ලිව්.එල්. විල්සන් පෙරේරා, සහකාර රස පරීක්ෂක ඩී.එම්.එල්.ඩබ්ලිව්. ජයමාන්න හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) ජේ.ඒ.එස්. ජයවීර යන මහත්වරුන් විසින් විශ්ලේෂණය කරන ලදී. එම විශ්ලේෂක කණ්ඩායම තමන්ගේ නිගමනයන් වෙන් වෙන්ව වාර්තා කිරීමට තීරණය කර තිබූ අතර ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) සිය විශ්ලේෂණ වාර්තාව ඊයේ අධිකරණය වෙත ලිපියක් මඟින් යොමුකර තිබිණි.

තමා ඉහත නිලධාරීන් කණ්ඩායම සමඟ ඉකුත් අගෝස්තු 25 වැනි දින කාර් රථය සම්බන්ධව විශ්ලේෂණය කළ බවත් ඒ අනුව එදින පෙරවරු 9ට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ශාලිකා ශාලාව ඉදිරිපිට උද්‍යාන පාර, නාරාහේන්පිට යන මෙම අනතුර සිදුවූ ස්ථානයේද පෙරවරු 10.40ට නො 48/88 පොලිස් තනිකඩ භට නිවාස, නාවල පාර, නාරාහේන්පිට යන ස්ථානයේ ගාල් කර තිබූ කාර් රථය පරීක්ෂා කළ බව ජයවීර මහතා අධිකරණයට දන්වා සිටියේය.
මේ අනතුර නිසා සුක්කානම ගැලවී යෑමට හැකියාවක් නැත. සුක්කානමේ ඉතිරි වී ඇති කොටස් හා ගිනි ගැනීමේදී ඉතිරි වූ කොටස් පරීක්ෂාවේදී හමුවූ කොටස් අනුවත් ගිනි ගැනීම නිසා සුක්කානමේ රෝදය විනාශ වී ඇති බව නිශ්චිතව ප්‍රකාශ කළ හැකිය.
ගැටීමෙන් හානි වී ඇති ලෝහමය කොටස්වලින් ගිනිගැනීමක් සිදුවිය හැකි නොවේ. ගිනි ගැනීම ආරම්භ වූයේ කෙසේද? ව්‍යාප්ත වූයේ කෙසේද යන්න පිළිබඳ නිශ්චිත මතයක් ප්‍රකාශ කළ හැකි නොවේ.

වාහනයේ තිරිංග පද්ධතියේ රබර් උපාංග ගින්නෙන් විනාශ වී ඇත. සමහර උපාංග කාලයත් සමඟ විනාශ වී හා ගලවා ඉවත් කර ඇත. වාහනයේ රියැදුරු අසුන උපරිම ලෙස පිටුපසට ගෙන තිබිණි.
කාර් රථයට සිදුවී තිබූ හානි අනුව ගැටීමෙන් පසුව වාහනය ධාවනය කරවීමේ කිසිම හැකියාවක් නැත. ගැටීමෙන් සිදුවූ අනතුර නිසා හානි වී ඇත්තේ වාහනයේ බෆරයට පහතින් වූ යට කොටසට, ඉදිරි කොටසට හා ඉදිරි වම්පස රෝද ආරුක්කුව අසල කොටසට බැවින් ගැටීම් නිසා රියැදුරු හට ඇතිවිය හැකි බලපෑම් ඉතා අල්ප වේ යැයිද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) ජේ.ඒ.එන්. ජයවීර මහතා අතිරේක මහෙස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා වෙත ඉදිරිපත් කළ සවිස්තරාත්මක වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

(උපුටා ගැනීම- මව්බිම)

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *