දේශයේ පියා සහ සිරිසේනගේ පියා

ඔහු ප්‍රකටව ඇත්තේ දේශයේ පියා නමිනි. වරෙක මුල් රටවැසියා  ලෙසද ආමන්ත්‍රණය කරයි. “ලංකා” නම් ඔහුගේ භාර්යාව වේ. රටවැසියන් ඔහුගේ දරුවන් වේ. ලංකාට තනිව තීරණ ගත නොහැකිය. ඇය සැම විටම දරුවන් ගැන සිතා, ඔවුන්ට අවශ්‍යය ආහාර, පාන, තම නිවසේම වගා කර ගනී. ඇය දරුවන්ට ඉහළම ආරක්ෂාව සලසා දෙන වටිනා කතකි.

ලංකාගේ පළමු විවාහයේ සිට මේ දක්වා ඇයට ආදරය කරන කිසිදු සැමියෙකු ලැබී නැත. මා එසේ කියන්නේ, ඇගේ දරුවන් තවමත් වෙනත් දරුවන්ගෙන් ගැරහුම් ලබන නිසාය. “ලංකාගේ ළමයි හෙන හොරු … උන්ට අහුවෙන්නෙපා …” බටහිර පැත්තේ නැන්දලාගේ ළමයි කියනු මට බොහෝ ඇසී ඇත.

ලංකා කෙතරම් වයසට ගියත් ඇයව විවාහ කරගැනීමට බොහෝ උන් දත කයි. වරෙක ඇය හා විවාහ වූ නාකි සීයා කෙනෙක් දරුවන් ගැන සිතා ඔවුන්ට බොහෝ නීති දැමීය. ඔහු මහා කළු සුද්දෙකි. ඔහු ලංකා අට වසරක් තබා ගත්තේය. කල දේ බොහොමයි. නොකළ දේ ද බොහොමයි. කුඩප්පච්චි දරුවන්ට වඩා අම්මාට ආදරය කල බව නම් මා දනිමි.

deshaye piya

දේශයේ පියා වටේ පිරිසක් ද සිටී. ඔවුන් ලංකා වෙනුවෙන් දිවි පිදීමට පවා ලක ලෑස්ති වී සිටී. ඔවුන් කෙතරම් උණුසුම් මානසිකත්වයක සිටී ද යත් ඔවුන් බොහෝ විට වතුරින් වට වූ ගොඩනැගිල්ලක ඇතුලේ සිටිමින් ලංකා ආරක්ෂා කිරීමට, ලංකාට අවශ්‍ය මුදල් සෙවීමට සැලසුම් සදයි. මේ අතර ලංකාගේ දරුවෝ ගස් ගල් උඩ නිදියමින් ඇය ආරක්ෂා කිරීමට තම දිවිය කැප කරනු මා දැක ඇත. ඔවුන් අත අවියක් ඇත. කෙතරම් පාදඩ වැඩ කලත් තම මව්ගේ සැමියාට ඔවුන් එරෙහි නොවේ. ඒ තම මවට ඇති ආලය නිසා මිසක කුඩප්පච්චිට ඇති භයකට නොවේ.

පෙර කී විවාහයෙන් පසු ලංකාට තවත් සැමියෙකු ලැබුණි. අවාසනාවන්ත ලෙස ඔහු ලංකාගේ දඩබ්බර දරුවෙකු අතින් මැරුම් කෑවේය. මා දන්නා පරිදි ලංකාගේ ආදරණීය දරුවෝ බොහෝ විට දඩබ්බර දරුවන්ට පහර දෙයි. දඩබ්බර උන්ගෙන් වැඩක් නැත. එකිනෙකාට ආදරයක් නැති උන් ඉන්දු නැන්දාගේ ගෙදර පදිංචියට යා යුතුය. මන්දයත්, ඉන්දු නැන්දා දඩබ්බර දරුවන් වෙනුවෙන් යමක් නොකරන නිසාය. ලංකා ළඟ සිටිය යුත්තේ හොඳ දරුවන් පමණි. ඔවුන්ට ලොකු විය යුත්තේ තමන්ට සෙනෙහස දෙන මව මිසක, කිසි දිනක දැක නැති දෙවියෙකු නොවේ. සමහර දරුවන් දෙවියන් පිනවීමට නාටක නටමින් සිටිනු ලංකා බලා සිටින්නේ හද පිරි දුකකිනි.

සැමියා වටේ පිටේ උන්ගේ ගෙවල් වලට වැද හිඟමන් යැද හෝ ණයට ගෙන එන සොච්චම ඔහු විසින්ම වටේ සිටින මිතුරන්ට බෙදා දී, ඉතිරිවන පොඩි මුදලින් දරුවන්ට කන්න අඳින්නට දෙයි. එසේ කර, ගම දෙවනත් වෙන ලෙස ලංකා කෙළෙසමින් පම්පෝරි ගසන්නේ,

“මේ ගෙදර ඉන්න හැම එකාම අහල පහළ ගෙවල් වලට ණයයි. උඹලගේ අම්ම කලින් කරේ දාගෙන හිටපු මිනිහ තමයි ඔක්කොම කලේ. ඌ ලෝකෙටම ණය වුනා. උගේ වටේ හිටපු උන් විතරයි සැප වින්දේ. බලපල්ලා ඌ නිදිවදින්න ගත්තු ඇඳේ සයිස් එක. බලපන් ඌ කාපුවා, බීපුවා. ”

මෙසේ බෙරිහන් දෙන ඔහු නැවතත් පෙර සැමියා සේ හිඟමනේ යන්නේය. පහත් තැනින් ජලය ගලන්නාක් මෙන් ඔහු සියල්ල කර වැරැද්ද ලංකා සහ දරුවන් පිට පටවයි. අවසානයේ ඔහු ලංකා දික්කසාද කරයි. විහිලුව නම් ඔහු කෙලෙසන ලද ලංකා විවාහ කර ගැනීමට ඔහුගේම යටත් පිරිසේ උන් පොර කෑමයි.

 

සිරිසේනගේ පියා, ආදරේට අපි සිරිසේනගේ තාත්තා කියමු. ඔහු දේශයේ පියා තරම් සංකීර්ණ නැත. ඔහු හැම විටම කියනා කියමන් කිහිපයකි.

1) “මම මළත් උඹලා බඩගින්නේ තියන්නේ නෑ”
2) “ගෙදර ගින්දර ගේ ඇතුලට විතරයි. පිට උන් අපේ වැට පාගන්න ඕන නෑ”
3) “මගේ ඔලුවේ පණ තියෙනකං මම හිඟමනේ යන්නේ නෑ”
4) “ණයට කන්න ඕන නෑ. වත්තේ කොස් ගහක් තියෙද්දී”
5) “තොපිට ලැජජ නැද්ද එක එකා කා කොටා ගන්නේ ? මම කියන විදියට ඉන්න බැරිනම් පලයන් මේ ගෙයින් දොට්ට”
6) “එක එකාට ඕන විදියට ද අපි වැඩ කරන්න ඕන?”
7) “මම වතුර විතරක් බීල හරි උඹලට උගන්නවා”

සිරිසේනගේ තාත්තා සිරිසේන ඉපදී වසර දහයක් වන විට අලුතින් නිවසක් සාදා, වාහනයක් ගෙන සිරිසේනගේ මවට සහ දරුවන්ට සුවසේ ජීවත් වීමට පසුබිමක් සැකසුවේය.

එහෙත් අවාසනාවට දේශයේ පියා පසුගිය සතියේ ද හිඟමනේ යනු මම දුටිමි. ඔහු වට කර තවත් පිරිසක් සිටිනු මම දුටිමි. ඔවුන් කලින් සිටි දේශයේ පියාගේ වටේ සිටි පිරිසම වූ අතර ඔවුහු මනාවට රෙදි හැඳගෙන සිටි අතර අලුත් දේශයේ පියා ඔවුන්ගේ කරේ අත දමාගෙන කෙලි දොලින් සිටියහ.

දේශයේ පියා ණය සහ හිඟමන් යැද ගෙනෙන සොච්චම වටේ සිටින උන්ට එන්න එන්නම මදිය. දරුවන්ට පාසල් යාමට දෙන මුදල ඔවුහු කපයි. තුන් වේල, දෙවේල කොට එකතු කරගන්නා මුදලින් ඔවුන්ට සවාරි ගැසීමට යාන වාහන මිලදී ගනී. දරුවන්ට යන අනාගතය ගැන කිසිදු අදහසක් නැති මොවුහු වසර තිහකට වැඩි කාලයක සිට හිඟමනේ ගොස් ලැබෙන මුදලින් සහ ණයට ගත් මුදලින් ජීවත් වේ. ලංකාගේ සමහරක් දරුවෝ දැන් වෙනත් ගෙවල් වල මෙහෙකාරකම් කරති. ඔවුන් ඉන් ලැබෙන සොච්චම් මුදල ලංකාට යවද්දී දේශයේ පියා එයින් ද කොටසක් කඩා ගනී. ලංකාගේ නිර්මාණශීලී දරුවෝ ඉවත දමන දෑ යොදා යාන වාහන හදද්දී දේශයේ පියා, අල්ලපු ගෙදර ඉන්දු නැන්දාගේ දරුවන් හදන අධි මිල හුච්චක්කු වාහන මිලට ගනී. අහල පහල ගෙවල් වලින් ණයට ගත හැකි සියල්ල ඔහු ගන්නේ තමන්ගේ දරුවන්ගේ කුසලතා ඔහු ඇගයීමට නොදන්නා නිසාද? නැතිනම් වටේ සිටින ඔල මොට්ටලයන් පොහොසත් කිරීම සඳහාද?

ගරු දේශයේ පියාණනි, ඔබ සිතා සිටින්නේ අපි අමු ගොන් නාම්බන් ලෙසනම් අපි ඔබට කිසිත් නොකියමු. අහල පහල පොහොසත් මාමලා බොහෝ අයට ඔබට වඩා දැක්කමක් ඇත. ඔවුන් අපව අරන් හදා ගැනීමට කැමැත්තෙන් සිටී. මන්දයත් ඔවුන්ට අපි ගොන් නාම්බන් නොවන නිසාය. ඔබේ වටේ සිටින අමන රැල සමඟ ඔබ හැමදාම හිඟමන් යනු ඇත. එම ශාපය නිසාම නුඹලා සියල්ල දිනක අපා ගත වනු නොඅනුමානයි. අපිට වැරදෙන්නේ නැත. මන්දයත් අපිට නුඹට වඩා දැක්මක් තිබේ. අපි බොහෝ ඉක්මනට අපේ හිත සුව පතා අපිට අත දෙන ගෙදරක පදින්චිට යන්නෙමු. මට උඹ හෝ. උඹේ වටේ සිටින උන් ගැන ඇත්තේ අප්පිරියාවක් පමණි. එහෙත් මගේ අම්මා දිනෙක මියැදෙන තුරු නුඹලා වැනි පටු මානසිකත්වයක් ඇති සැමියන්ගෙන් අතවර විඳිනු ඇත!!!

– ලංකාගේ නිර්මාණශීලී දරුවන්ගේ බාලම එකා –

Share Button

Add a Comment