පිළියන්දල ඉන්නේ හෙන හරක්

piliyandala

“පිළියන්දල ඉන්නේ හෙන හරක්” , දිනක් මා මොරටුව දුම්රියපලෙන් ගල්කිස්ස බලා ගමන් කරන විට කෙනෙකු කියනු කන වැදුනි. පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මට එයින් යකා ආවේශ වුනි. මිනිසුන් සියල්ල ඉදිරියේ මම ඔහුට හඬ නැගුවෙමි.

“ඇයි ඕයී තමුසේ හරි මිනිහෙක්ද? තමුසෙගෙ ගම මොක වුනත් දැක්ක ගමන් මටනං මතක් වෙන්නේ අපේ එහා ගෙදර ඉන්න බලු තඩියා.”

ඔහු එයින් තිගැස්සී ගියේය. මම නැවතත් ඔහුට තර්ජනය කලේ සිත තුල තිබූ කේන්තිය පහ කිරීමේ අරමුණිනි.

“උන්නැහේ, මගේ ගමත් පිළියන්දල. අපිට හරක් කියන්න තමුසෙට තියෙන අයිතිය මොකද්ද?”

මේ අතර පැමිණි තලතුනා පුද්ගලයෙක් අපේ ගෝරිය දෙස හොඳින් බලා සිටිනු මම දුටිමි. අවසානයේ ඔහු හඬ නැගීය.

“මේ ඉලන්දාරියා! තමුසේ පොඩ්ඩක් කට වහ ගන්නවද? ලොකු උන්නැහේ, ඔහේ පොඩ්ඩක් කතා කරනවා. ඇයි පිළියන්දල මිනිස්සුන්ට හරක් කීවේ?”

“ඇත්තටම මේ තරුණ ඉලන්දාරියා කලබල වෙලා. මම අද උදේ ගියා පිළියන්දලට. ටවුන් එක පුරාම හරක්. තව ටිකෙන් එකෙක් මට අනිනවා. මම ඒ ගැන ෆෝන් එකෙන් මගේ හාමිනේට කිව්වා. ඒ අස්සේ තමයි මේ කොල්ලා මගේ ඇඟට ගොඩ වුනේ … හහහා ….”

මම ලැජ්ජාව දරා ගත නොහැකි තැන මෙසේ කීවෙමි.

“හැබැයි ඇත්තටම පිළියන්දල හරක් ඉන්නවා. උන් රාජකීය හරක්. උන් තමයි ටවුන් එක පාලනය කරන්නේ. මීලඟ චන්දෙ එනකං උන් ලොකු උන්නැහේ වගේ අය පාරේ යද්දී අනින්න එනවා …” එයින් ගෝරිය නිම වූ අතර, එම සොඳුරු මිනිසා මගේ පිටට තට්ටුවක් දමා දෙහිවලින් බැස ගියේය.

– දිල් –

Share Button

Add a Comment