පුංචි නංගියේ මගේ පුංචි නංගියේ…

55f0706b1700004301569c0a

ධර්මසිරි ගමගේ නිර්මාණකරුවා අතින් ලියැවෙන මේ සංවේදී පද රෝහණ වීරසිංහයන්ගේ තනුවට ශ්‍රාවක හදවත් තුළට සමීප වන්නේ සුනිල් එදිරිසිංහයන්ගේ හඬ පෞරුෂය හරහායි. කුඩා කල සිට එකට හැදී වැඩෙන සහෝදර සහෝදරියන්ගේ බැඳීම කොතරම් ප්‍රබලදැයි කීමට දරන උත්සාහයකි මේ…

අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
එතෙක් සිනාවෙන් සිටි මා කොහේදෝ තනි වීලා
නෙතේ කඳුළු සිර කරගෙන සිටියෙමි ඉවසාලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ….

තමන්ගේ නැගණිය විවාහයෙන් පසු නිවසින් පිටවී යන්නීය. එය සැබවින්ම දුකක් වන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක් බවට ඇති ලෝක සත්‍ය සනාථ කරමින්. කුඩා කල සිට තනි නොතනියට සිටි නැගණිය, වෙන කෙනෙකුගේ වී පිටත්ව යාමට ආසන්න මොහොත එළැඹී ඇත. ඇය බුලත් අතක් දී මේ නමදින්නේ සිය සහෝදරයා හෝ සහෝදරිය වන්නට පුළුවන්. එය ඉතාම සංවේදී අවස්ථාවක්. ඇඬුම් දෙන අවස්ථාවක්. එතෙක් සතුටිනුයි හිටියේ ඇගේ මේ විශේෂ දවස නිසා. ඇගේ සමුගැනීම දරාගන්න නොහැකියාවෙන්, තනි වෙලා කඳුළු සිරකරන් ඉවසන් ඉන්නේ නැගණියට තියෙන ආදරය නිසාමයි.

මා සිටියත් ඉවසාගෙන නෙතේ කඳුළු නොසලා
අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
ඇගේ නෙතින් කඩා හැලුනු කඳුළු මතක් වීලා
කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

පුංචි නංගියේ මගේ පුංචි නංගියේ
පුංචි නංගියේ මගේ පුංචි නංගියේ….

මේ වියෝව දෙස බලා දුක්වන අනිත් කෙනා අම්මා යි. ඇයගේ ඇසෙන් කඳුළු ගලද්දී එය දරාගන්නට ඉතාම අපහසුයි. මෙච්චර වෙලාවක් තමන්ගේ කඳුළු සිරකරන් සිටියත් එය දැක වාවා ගත නොහැකිව ඇඬුම් දෙයි. කිසිම කෙනෙකුට නොපෙනෙන සේ හුදකලා වී සැඟවී ඒ දුක පිට වීමට කඳුළු පිටකරන මේ සහෝදරයා හෝ සහෝදරියගේ භූමිකාව ඉතා සංවේදී ය.

 

Share Button

Add a Comment