පුංචි පුතා මගේ ඉස්කෝලේ ගිය මුල්ම දවස අද වේ…..

Cute schoolboy running to his mother

කුසලතා පිරිපුන් ගීත රචකයෙකු වූ ධර්මසිරි ගමගේ අතින් ලියවුනු මෙම ගීතය සෑම අම්මා තාත්තා කෙනෙකුගේම අත්දැකීමකි. මෙම ගීතයේ සංගීතය ක්ලැරන්ස් විජේවර්ධනයන් විසින් සිදු කරන අතර ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ මිහිරි හඬ පෞර්ෂය ද මෙම ගීතය වඩාත් ආකර්ෂණයට පත්වීමට ඉවහල් වී ඇත. මව්කුසට දරුවෙකු පැමිණි දිනයේ සිට අම්මලා තාත්තලා සිතන්නේ දරුවා යවන පාසල පිලිබඳවය. වසර පහයි මාස නවය හමාරකට පසු තම ළඟ හුරතල් වූ දරුවා පාසල් අධ්‍යාපනය ආරම්භ කරන මුල්ම දිනය පිළිබඳව දෙමාපියන්ට පොදුවේ ඇතිවන හැඟීම මින් අදහස් වේ.

පුංචි පුතා මගේ
ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ..
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කල මොහොතේ..

පුල පුලා බලා සිටිපුතාගේ පළමු පාසල් දිනය පැමිණ ඇත. සුදුවතින් සරසා ගත් දරුවාට බුලත් හුරුල්ලක් දී පන්පන්තියට කැටුව ගොස් ගුරුතුමියට වැඳ භාරදෙයි.දරුවා පන්තියේ සෙසු දරුවන් හා ගුරුතුමිය ළඟ නතර වෙයි. ඒ සමඟ අම්මට ඔහුව එතන තබා එන්නට හිත නොදෙයි. දරුවා සතුටින් පන්තියේ සිටීද? හෙට යන්නට බෑ කියයිද? දහසක් සිතුවිලි ඒ අතර උපදී.

අද සිට පුතුනේ
හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙකු වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියේ තියලා
මා වෙන්වන මොහොතේ
පුංචි ඇස් දෙකේ කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට

තමන් පාසල් ගිය මුල්ම දවස තමාට අමතක වුවද සුවහසක් දෙමාපියනට තම දරුවා පාසල් ගිය මුල්ම දවස අද වාගේ හොදින් මතකයි. මුළු මහත් විශ්වයම අපට පෙනෙනවට වඩා අඳුරු දේ වැඩිය, ගැටළු සහිත දේ වැඩිය, නමුත් මෙම අඳුර විනිවිඳ දැකිය හැක්කේ සබැ ලෙස උගත් අයට පමණි. දහසක් පැතුමන් පොදි බැඳන් දරුවා පාසලට යවන දෙමාපියන් සියලු සමාජ පීඩනයන් ගෙන් ගොඩ වීමට ඇති එකම මඟ ලෙස සලකන්නේ අධ්‍යපනයයි. නමුත් පළමු දිනයේ දරුවාගේ කදුළු පිරුණු දෙනෙත් දැකීම, මවුපියනට මහත් දුකක් ඇති කරයි.

සෙනෙහස මහදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියේ තියෙලා
මල්ගස් යට හෙවනේ පුතුගේ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි ලස්සන මුහුණයි

පාසල තුල දරුවා රැඳවීම වේදනා සහගතය. ඒ නිසාම අම්මලා ඒ ළඟ ගල් බැම්මේ ගස් සෙවනේ වාඩි වී තම දරුවා දෙස බලයි. ඇසට නොපෙනුනද ඔහු පන්තියේ හැසිරෙන විදිය හිතින් දකියි. පාසැල නිමවන මොහොත තෙක් නොයිවසිල්ලෙන් බලා සිටියි.ගීත රචකයා පදමාලාව තුලින් මවන චිත්‍රය මනස්කාන්තය. දඟකාර සුරතල් දරුවෙකුගේ ස්වරූපය, දෙමාපියන් දරුවා ගුරුතුමියට භාර දී සමුගන්නා මොහොත,පාසැල නිම වී එන දරුවා සතුටින් ඉපිල යමින් දෙමාපියන් වැලඳ ගන්නා ආකාරය සජීවී අවස්ථා මැවීමට ඉවහල් වේ.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *