පොඩි එකා වැරැදිලා කියුටෙක්ස් බිව්වම රිමූවර් පොවන මෝඩ අම්මලා

makeup

අප ගෙදර ‍ෙදාර කටයුතු සඳහා භාවිත කරන බොහෝ නිෂ්පාදනවල මිනිස් සිරුරට හිතකර නොවන වස විස අඩංගුය. මෙම නිෂ්පාදන නිසි පරිදි භාවිත නොකිරීම හෙවත් අවභාවිතය මෙන්ම නිවෙසට ගෙනඑන එවැනි දෑ ආරක්ෂාකාරී නොවන අන්දමින් ගබඩා කිරීමද විස වීම්වලට ගොදුරුව රෝහල් ගත වීමට හේතු වේ.ශ්‍රී ලංකාවේ මෙයාකාරයෙන් ගෘහස්ථ විස වීම්වලට ගොදුරු වන සංඛ්‍යාව වසර කිහිපයක් තිස්සේ වැඩිවෙමින් පවතින බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

මෙසේ ගෘහස්ථ විසවීම් සංඛ්‍යාව වර්ධනය වීම පිළිබඳව අවධානය යොමු කළ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය මෙම වසරේ ජාතික විස තොරතුරු සතියේ තේමාව කොට ගත්තේද ‘ගෘහස්ථ විසවීම් වළක්වමු’ යන්නය.ජාතික විස තොරතුරු සතිය ඉකුත් 14 සිට 20 දක්වා දීප ව්‍යාප්තව පැවැත්විණි. රට පුරා තිබෙන රෝහල් කේන්ද්‍ර කරගෙන ප්‍රජාව දැනුවත් කරන වැඩසටහන් පැවැත්වීමට කටයුතු කළ බව ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා ‘මව්බිම’ට පැවැසුවේය.

මීට පෙර ගෘහස්ථ විස වීම් සම්බන්ධයෙන් මේ රටේ සංඛ්‍යා ලේඛන නොවූ බැවින් මෙවර ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ පර්යේෂණ වාර්තාවටද පදනම් වූයේ ගෘහස්ථ විස වීම් බව විශේෂඥ වෛද්‍ය ගුණතිලක මහතා සඳහන් කළේය.ගෘහස්ථ විසවීම් සිදුවීමේ සිද්ධීන් 62ක් 2013 වසරේදී වාර්තා වූ අතර එවැනි සිද්ධීන් 377ක් ඉකුත් වසරේ එනම් 2014දී වාර්තා වී තිබිණි.පසුගිය වසරේ ගෘහස්ථ විස වීම් අතරින් ඉහළ අගයක් ගෙන තිබුණේ මදුරු කොයිල් සහ මදුරුවන් විකර්ෂණය කිරීම සඳහා භාවිත කරන දියර, වැසිකිළි පිරිසුදුකාරක හා මීයන් මැරීමට යොදන ද්‍රව්‍යවලින් සිදුවන විස වීම්ය.මදුරු කොයිල් හා දියර විස වීමේ සිද්ධීන් 66ක්ද, වැසිකිළි පිරිසුදුකාරක විස වීමේ සිද්ධීන් 42ක්ද, මීයන් මැරීමට යොදන ද්‍රව්‍ය විස වීමේ සිද්ධීන් 40ක්ද පසුගිය වසරේ වාර්තා වී තිබිණි.

මෙම වසර (2015) මෙතෙක් අවසන් වී නොමැති වුවද මේ වන විටද පසුගිය වසරේ (2014) සමස්ත ගෘහස්ථ විස වීමේ සිදුවීම් 377 සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත. මේ වන විට මෙම වසරේ ගෘහස්ථ විස වීම් 458කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී තිබේ. එසේම පසුගිය වසරේ ඉදිරියෙන් තිබූ මදුරු කොයිල් හා මදුරු දියර හා වැසිකිළි පිරිසුදුකාරක අභිභවා මේ වසරේදී මීයන් මැරීමට යොදන ද්‍රව්‍ය හා භූමිතෙල් විස වීම් ඉදිරියට පැමිණ ඇති බවද ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය සඳහන් කරයි.ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතාට අනුව වාර්ෂිකව ගෘහස්ථ විස වීම් සංඛ්‍යාවේ වර්ධනයක් පෙනුණද විස වීම් හේතුවෙන් රෝහලට ඇතුළු වී පණ පිටින් නිවෙසට යන රෝගීන් වැඩිම ප්‍රමාණයක්ද වාර්තා වන අග්නිදිග ආසියානු රට වන්නේ ශ්‍රී ලංකාවය. ඒ අප රටේ වෛද්‍ය ප්‍රතිකාර ඉහළ මට්ටමක පැවැතීම නිසාය.

වාර්ෂිකව විස වීම් සංඛ්‍යාව ඉහළ යෑමට හේතු ලෙස ජනතාව වැඩි වශයෙන් විස සහිත රසායන ද්‍රව්‍ය පරිහරණය කිරීම, වෙළෙඳපොළේ ප්‍රමිතියකින් තොරව හෝ නීති විරෝධීව විකිණෙන විස ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන බහුලවීම වගේම ඒවා භාවිත කිරීමේදී ජනතාව දක්වන නොසැලකිල්ල හෝ ඒ පිළිබඳව ඇති අනවබෝධය යන කරුණු දැක්විය හැකි බව විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සඳහන් කරයි.
විශේෂයෙන්ම මීයන් මැරීමට භාවිත කරන මීපාසානම් ආදිය භාවිත කිරීමේදී ප්‍රවේශම් සහගත නොවීමෙන් ඒවා දරුවකු අතට පත්වීම සිදුවිය හැකිය.වැඩි වශයෙන්ම විස වීම්වලට ගොදුරු වන වයස් කාණ්ඩය වන්නේද වයස අවුරුද්දේ සිට අවුරුදු පහ දක්වා ළමයින් බවද සංඛ්‍යා ලේඛන මඟින් දැක්වේ. එහෙයින් නිවෙස්වල පරිහරණය කරන විස සහිත නිෂ්පාදන දරුවන්ට ළඟාවීමට නොහැකි ආකාරයට තැබීම පමණක් නොවෙයි වස විස පිළිබඳව දැනුවත්වීම වගේම ප්‍රතමාධාර පිළිබඳවත් දැනුවත්ව සිටීම වැදගත් වේ.

එක් මවක් සිය නිය ආලේප කිරීමට ගත් තීන්ත (කියුටෙක්ස්) බඳුනක් දරුවා බී ඇති බව දැනගත් විට ඒ මව කර ඇත්තේ නිය ආලේපන ඉවත් කිරීමට යොදන (රිමුවර්) දියරය බෝතලය දරුවාට පෙවීම බවද විස සම්බන්ධයෙන් සමහර අය කිසිදු දැනුවත්කමකින් තොරව කටයුතු කර මෙයාකාරයෙන් වැඩි විනාශයක් කරගන්නා අවස්ථා ඇති බවද විශේෂඥ වෛද්‍ය ගුණතිලක මහතා සඳහන් කරයි.එසේම භූමිතෙල්, ඇසිට් වැනි ආම්ලික විස වර්ග ශරීරගත වූ අවස්ථාවන්හිදී ඒවා වමනය කරවීමට ගිය විට පිලිස්සුම් තවත් පැතිර යෑම, පෙණහලුවලට විස ද්‍රව්‍ය ඇතුළුවීම හා නිව්මෝනියාව වැනි සංකූලතාවන්ට ගොදුරුව රෝගියා මිය යන අවස්ථා බහුල බවද එවන් විටෙක වමනය කරවීම කිසිවිටෙක නොකළ යුතු බවද වෛද්‍යවරයා කියයි. එවන් විටෙක කළ යුත්තේ ඉක්මනින් රෝහලකට ගෙන යෑමය.

ගෘහස්ථ විස වීම්වලට හේතුකාරක වන අනෙකුත් ගෙදර ‍ෙදාර භාවිත කෙරෙන දේ අතර රෙදි සේදීමේ කුඩු, විරංජන කුඩු, ගම් වර්ග, කපුරු, නිල් වර්ණක, බේ්‍රක් තෙල්, පැඟිරි තෙල්, සිලිකා ජෙල්, බ්‍රාසෝ, ටර්පන්ටයින්, රූපලාවණ්‍ය නිෂ්පාදන, භූමිතෙල්, කපුරු බෝල, ටිනර්, සබන්, ටිපෙක්ස්, චෝක්, ලැකර් හා පේන්ට් වර්ග, වාහන තෙල්, වායු සුවඳකාරක, සපත්තු හා බිම් පොලිෂ්, ගිනිකූරු ආදියද වේ.
ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය ගෘහස්ථ විස වීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් සංයුක්ත තැටියක් (සීඩී) පිළියෙල කොට ඇති අතර එය සියලුම රෝහල්වලට බෙදා හැරීමට කටයුතු කර ඇත. එම සීඩී තැටිය මහජනයා වෙත නොමිලයේ ලබාදීමට කටයුතු කර ඇති අතර එය ලබා ගැනීමට බලාපොරොත්තු වන අයට පැය විසිහතරේම ක්‍රියාත්මක වන 011-2686143 ඔස්සේ ජාතික විස තොරතුරු මධ්‍යස්ථානයට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකිවේ. එසේම විස ශරීරගත වූ විටෙක ඕනෑම කෙනකුට ඉහත දුරකතන අංකය ඔස්සේ අවශ්‍ය තොරතුරු හා උපදෙස් ලබාගත හැකි වේ.

Share Button

Add a Comment

Your email address will not be published. Required fields are marked *