මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ…

39df1168-9550-4011-8bcd-0044b0ae495e

තමන්ගෙන් දුරස් වුණු දියණිය ගැන සානුකම්පිත ලෙස සිහිකරනා පියෙකුගේ දුක් විලාපය මොනවට නිරූපිත ගීතයක් ලෙස හඳුන්වා දිය හැකි මේ ගීතය සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් රසිකයන් වෙත සමීප වන්නක්. සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන් හා අපූරු පද සංකල්පය රත්නශ්‍රි විජේසිංහයන්ගෙන්.

චන්ද්‍ර මණ්ඩලේ සැතපුන පුංචි සාවියේ
මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
පාන නිවුන සේ පාළුයි ලැයින් කාමරේ
මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ…

ලැයින් කාමරේක ජීවත් වන බව මෙම පද පේළි අතර කියවෙන දෙයක්. ඔවුන්ගේ තරාතිරම හඟවන ඉඟියක් ලෙස එය හඳුන්වන්න පුළුවන්. වත් පොහොසත්කම් වලින් තොර ජීවිතයක් ඔවුන් ගත කර තිබුණත් මේ කතාවේ එන තාත්තා තමන්ගේ දුවට මහත්සේ ස්නේහයක් දක්වා ඇති බව පැහැදිලියි. තමන්ගේ දුව සතුව පැවති අහිංසක බව ඔහු උපමා කරන්නේ ඇය සඳ මඬලේ නිදනා සාවියක් බව කියා පාමින්. නිවසේ තිබුණු ආලෝකය ඇය යි. ඇය නිවසින් නික්ම ගිහින්. දැන් නිවසේ පහන නිවී ආලෝකය නැති වෙලා ගිහින්. ඇය කවුරුන් සමඟ හෝ පැන ගිහින්. එනිසයි තාත්තා අහන්නේ ඇයි ගියේ කියන සංවේදී ප්‍රශ්නය…

ලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
ගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ….

ඉතා ඉක්මනින් රැවටෙන ගෑනු ළමයි මීට කලිනුත් මේ විදියටම කාත් එක්ක හරි නික්මිලා ගිහිල්ලා ඇති බව තාත්තා කියන්නේ, ඒ ගිය අයට තමන්ගේ ජීවිතේ වැරදුනු බව මතක් කර දෙමින්. තමන්ගේ දුවටත් එහෙම වෙයිද කියන සැක සංකාව තමන්ගේ හිතේ නැතුවාම නොවෙයි. ඒ නිසාමයි මේ තාත්තා දුක් වෙන්නේ. ඒ ගැන හිතන්නේ.

මාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරවු ගේ දොරකඩ සින්දු කිවූ වෙලේ
හීනෙනුත් දැනුනේ නෑ මට මොකද කාරණේ
පාර මතක නම් තාමත් ගේ ළඟයි දුවේ…..

ගෙයක් ඉස්සරහට විත් සින්දු කියන, සුදු යකඩ මාල පැළඳගත්තවුන් කියන්නේ පහළ සමාජ තලයක ඉන්න තරුණයන්. සමහරවිට ඔවුන්ට වෙන කිසි වැඩක් නැති වෙන්නත් පුළුවන්. ඒවගේ අය එමටයි. ඒ විදියේ තරුණයෝ ඇවිත් ගේ ඉස්සරහ හිටියත්, මේ තාත්තා නිකමටවත් හිතලා නැහැ තමන්ගේ දුව එහෙම කෙනෙක් එක්ක යන්නම යයි කියන බොහොම නරක කාරණාව. ඒ හින්දයි ඔහු කියන්නේ ඇත්තට තියා ඒ දේ හීනෙන්වත් නොදැනුන බව. තමන්ගේ දරුවෝ මොන දේ කරත් දෙමාපියන්ගේ ස්නේහය වෙනස් නොවෙන බව මේ ගීතයේත් අවසානයේ කියන දෙයක්. තාත්තා කියන්නේ, දුවට පාර මතක නම් ගෙදර එන්න කියලයි.

Share Button

Add a Comment