මෛත්‍රිව හොයාගෙන ඇවිත් ඔබාමා සුබ පතයි

MS09292015NY_1
එක්සත් ජාතීන්ගේ නිර්භීත සාමසාධක බළකා නිසා අද ලෝකය වඩා ආරක්ෂිත තැනක් බවට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ සාම සාධක සමුළුව අමතා ප්‍රකාශ කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සාම සාධක හමුදාවන්ට ශ්‍රී ලංකාව සපයන දායකත්වය වැඩි කරන බවට ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.
නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පෙරේදා (28දා) පැවැති සාම සාධනය පිළිබඳ සමුළුවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සාම සාධනය පිළිබඳ සමුළුව ඇමැතීමට පෙර ජනාධිපතිවරයා අසුන් ගෙන සිටි ස්ථානය කරා පැමිණි ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතා ඒ මහතාට සුබ පැතීම සමුළුවට සහභාගි වූ සියල්ලන්ගේ අවධානයට ලක්වූ සුවිශේෂී අවස්ථාවක් විය.

සාම සාධන සමුළුව අමතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම සාධන මෙහෙයුම් කටයුතුවල පරිණාමයේ තීරණාත්මක අවස්ථාවක මෙම වැදගත් රැස්වීම කැඳවීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමන්ටත්, සමුළුවෙහි සම සත්කාරකත්වය දරන රටවල නායකයන්ටත් මම ස්තුතිවන්ත වෙනවා. දශක පහකට අධික කාලයක් තිස්සේ එක්සත් ජාතීන්ගේ සාම සාධන ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාව සිය ශක්ති ප්‍රමාණයෙන් දායකත්වය ලබා දී තිබෙන බව සඳහන් කරන්නට අවශ්‍යයි.

මේ වසරේ ජනවාරි මාසයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතීන්ගේ සාම සාධන කාර්යාංශය සමඟ ශ්‍රී ලංකාව වඩාත් සහයෝගයෙන් කටයුතු කිරීම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ධනාත්මකව කටයුතු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තියෙහිම දිගුවක් ලෙස අපි සලකනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා ශ්‍රී ලංකාවේ වර්තමානයේ භට පිරිස්, යුද නිරීක්ෂකයන් හා සිවිල් පොලිස් කණ්ඩායම් ද ඇතුළුව 529 දෙනෙක් දායකත්වය ලබා දී තිබෙනවා. මේ අවස්ථාවේදී, එක්සත් ජාතීන්ගේ සාම සාධනය සඳහා ශ්‍රී ලාංකික දායකත්වය වැඩි කිරීමට මා කැපවන බව කියන්නට කැමැතියි. සාම සාධනයෙහි ඉහළම සම්මතයන් සුරැකීම පිණිස සාම සාධනයෙහි යොදවන ශ්‍රී ලාංකිකයන් හට විශිෂ්ට පුහුණුවක් ලබා දීමටත් ඔවුන් ඉහළම මට්ටමෙන් ඇගැයීමට ලක්කිරීමටත් අපි කැපවී සිටිනවා.

සුළු පරිමාණයෙන් ඇරැඹි එක්සත් ජාතීන්ගේ සාම සාධන මෙහෙයුම් මේ වන විට දිගු ගමනක් පැමිණ තිබේ. අද ඒවා සංකීර්ණ මෙහෙයුම් බවට පත්වී තිබෙනවා. වත්මන් එක්සත් ජාතීන්ගේ සාම සාධන මෙහෙයුම් මුහුණ දෙන අභියෝග සමහරක් පිළිබඳව අවධානය යොමු කිරීමට මෙය අවස්ථාවක් කර ගත හැකියි. සිවිල් වැසියන් ආරක්ෂා කිරීම, එක්සත් ජාතීන්ගේ මූලික වගකීමක් ලෙස සාම සාධන මෙහෙයුම් පිළිබඳ ඉහළ මට්ටමේ මඬුල්ලෙහි වාර්තාව විසින් හඳුනා ගනු ලැබ තිබෙනවා. මෙම වාර්තාව නිරීක්ෂණය කළේ දැඩි තර්ජනයට ලක්ව සිටින සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සාම හමුදා තමන් සතුව ඇති සියලුම මෙවලම් පාවිච්චි කළ යුතු බවයි. සාම සාධනයේදී සිවිල් වැසියන් ආරක්ෂා කිරීම පිළිබඳව වූ ‘කිගාලි’ මූලධර්ම ඉතා මෑතකදී ශ්‍රී ලංකාව විසින් පිළිගනු ලැබුවා. මෙම ආරම්භයට තවත් රටවල්ද සහභාගි වෙතැයි අපි අපේක්ෂා කරනවා.තමන්ගේ කාර්යභාරය ඉටු කිරීම පිණිස සාම සාධන මෙහෙයුම්වලට වැඩිමනත් සම්පත් සැපැයීමේ වැදගත්කම පිළිබඳව මෙම රැස්වීම අවධානය යොමු කරනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සාම සාධනය උදෙසා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ කැපවීම නැවැත වරක් ප්‍රකාශ කිරීමට කැමැතියි.

ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවෙන්, ගුවන් හමුදාවෙන් සහ පොලිසියෙන් සැලකිය යුතු තරමේ දායකත්වයක් ලබා දෙන බවට අපි ගෞරවයෙන් යුතුව පොරොන්දු වෙනවා.
එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම්වල දැනට පවතින උෟනතාවනට ප්‍රතිචාර වශයෙන් සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම් දෙකක් හා ක්‍ෂේත්‍ර ඉන්ජිනේරු ඛණ්ඩ දෙකක් සැපැයීමට අපි පොරොන්දු වෙනවා. තවද ඉක්මනින් රාජකාරියේ යොදවා ගැනීමට හැකි වන පරිදි, පාබළ හමුදා බළකායක්ද, විශේෂ කාර්ය භට කණ්ඩායම් දෙකක්ද, සංග්‍රාමික ඉන්ජිනේරු කණ්ඩායමක්ද සැපැයීමට අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒ වගේම නිත්‍ය සේවාවේ යෙදවීම සඳහා පාබළ හමුදා බළකායන් තුනක්ද, පුපුරන ද්‍රව්‍ය ඉවත් කිරීමේ එක් කණ්ඩායමක් සහ බළඇණි ආරක්ෂක කණ්ඩායමක්ද සැපැයීමට අපි පොරොන්දු වෙනවා. මීට අමතරව, පොලිස් ඒකක දෙකක් සැපැයීමටද අපි සූදානම්ව සිටිනවා.
එක්සත් ජාතීන්ගේ නිර්භීත සාම සාධක බළකා සාමාජිකයන් නිසා අද ලෝකය වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලය තුළ රාජකාරියෙහි යෙදී සිටියදී දිවි පිදූ සිය ගණනක් වූ සාම සාධක නිලධාරීන් හා කාර්ය මණ්ඩල සාමාජිකයන් සිහිපත් කිරීමටත්, ඔවුන්ට අපගේ ප්‍රණාමය පුද කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා.
(මව්බිම ඇසුරෙනි)

Share Button

Add a Comment