සිරිසේන ද? මහින්ද ද? ෂර්ලොක් හෝම්ස් කතා

Sherlock holmes

වොට්සන්: බලන්න හෝම්ස් අපේ යටත් විජිතයක් වෙලා තිබුණු ලංකාව කියන රටේ හැටි. ඔබ හිතන්නේ ඔවුන්ට කොහේදී ද වැරදුනේ?

හෝම්ස්: ඔබ මගේ වටිනා කාලය ගැන කිසිම තැකීමක් කරන්නේ නෑ නේද වොට්සන්? නරක ද අපි බල්ලන් සඳ ඇති රැයක උඩු බිරීමට හේතුව ගැන ටිකක් කතා කලොත්?

වොට්සන්: නෑ නෑ මිත්‍රයා … මම ඇහුවේ ඒක තරමක් කුතුහලය දනවන කරුණක් නිසා. අපේ මුතුන් මිත්තන්ට පශ්චාත් බාගයට හිස රුදාව ගැනෙන්නට ඔවුන් වරක් කටයුතු කළා මතකද? ඔවුන් හරි බුද්ධිමත් ජාතියක්ලු. එහෙත් මට හිතා ගන්න බැහැ ඔවුන් දැන් හැසිරෙන විදිය ගැන.

හෝම්ස්: මිත්‍රයා … මා වරක් කීවා නේද? අපි වෙනත් දෙයක් ගැන කතා කරමුද?

වොට්සන්: හෝම්ස් ඔබ තවමත් මගේ ගැටලුව තේරුම් ගත්තේ නැහැ. බලන්න ඒ රටේ මිනිස්සු හැසිරෙන විදිය. පුජකයෝ පාරට බැහැලා චන්ඩි වගේ හැසිරෙනවා, චන්ඩි/බේබද්දෝ ටික පාලනය අතට අරන්. තරුණ පරම්පරාව ෆේස්බුක් කියන මත් ද්‍රව්‍ය ගන්නවා. රට වෙනුවෙන් කිසිම කෙනෙක් වැඩක් කරන්නේ නෑ. ඒ රටේ අමන පාලකයෝ හැමදාම කලේ වෙන රටවලට ගිහින් ණය ගන්න එක. ඒ අස්සේ ඉතින් තමන්ගේ භාර්යාව නොදෙන දෑ පවා ලබා ගන්න උත්සාහ කරනවා මම දැකල තියෙනවා. ඇත්තටම ඒ මිනිස්සුන්ට යක්කු ගහලද?

හෝම්ස්: මාගේ උගත් මිත්‍රයා … ඔබත් හැසිරෙන්නේ හරියට නූගත් ශ්‍රී ලාංකිකයෙක් වගේ. අන්න අර වයලීනය මට දෙන්න …

වොට්සන්: එහෙම කියන්න එපා හෝම්ස් … මට මේක කියන්න. ඔබ ලාංකිකයෙකු වුනා නම් ඔබේ ඡන්දය පහු ගිය මැතිවරණෙ දී දෙන්නේ මහින්දට ද ? සිරිසේනට ද?

හෝම්ස්: මොන කරදරයක් ද මේ? හරි … මට මේකට උත්තර දෙන්න වොට්සන්. ඔබට රහස් පරීක්ෂණ කටයුත්තක් ලැබෙනවා. ඔබ මුලින්ම යන්නේ මහාචාර්ය මොරියාටි ගාවටද? ඉන්ස්පෙක්ටර් ලෙස්ට්‍රේඩ් ගාවටද?

වොට්සන්: මොරියාටි? මම මොකටද ඒ හොරා ගාවට යන්නේ? ලෙස්ට්‍රේඩ් කියන්නේ බොරුවට කියවන මොළේ කලඳක් නැති පොලිස්කාරයෙක්. මම කවදාවත් ඔවුන් දෙදෙනා ලඟට යන්නේ නෑ …

හෝම්ස්: විශිෂ්ටයි !!! ඔබට තේරෙනවනේ දැන් මම ඡන්දය ඒ දෙදෙනාටම නොදෙන බව?

වොට්සන්: අහ්හ් … ඒත් ඔබට JVP කියලා තුන්වෙනි තේරීමක් ලැබුනොත්?

හෝම්ස්: හඩ්සන් මහත්මිය කවද්ද රහස් පරීක්ෂණ කලේ මගේ මිත්‍රය?

වොට්සන්: ඒත් ඔබේ වටිනා ඡන්දය අපතේ යනවා නේද?

හෝම්ස්: වටිනා ඡන්දය නොවටිනා අපේක්ෂකයන්ට දෙන්න මගේ වටිනා කාලය නාස්ති කරන්නේ මොකට ද ?

වොට්සන්: ඒත් රටේ අනාගතය?

හෝම්ස්: කුණුහරුප දන්නවද?

Share Button