සිසුවකු ණයක් ගෙවන්න පානදුරේ බැංකුවක් කොල්ලකන්න ගිහින්

robber

මුදල් ආපසු ලබාගන්නා පෝරමයක ලබාගන්නා මුදල සඳහන් කිරීම වෙනුවට ලාච්චුවේ තිබෙන සියලුම මුදල් ලබාදෙන ලෙස හා අනතුරු ඇඟවීමේ සීනුව නාද කළහොත් තමා ළඟ ඇති ගිනි අවියෙන් වෙඩි තබන බවට තර්ජනය කොට ලක්ෂ පහක මුදලක් කොල්ලකෑමේ අලුත්ම තාලයේ බැංකු කොල්ලයක් ගැන පානදුර ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවකින් වාර්තා වෙයි.

මේ කොල්ලය සිදුවූයේ පෙරේදා (28දා) සවසයි.
සැකකරු රුසියාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වී අධ්‍යාපනය කඩාකප්පල් කරගත් 24 හැවිරිදි තරුණයෙක් බව පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
මේ තරුණයා පෙරේදා සවස එම බැංකුවට පැමිණ මුදල් ආපසු ලබාගන්නා පෝරමයේ ඉහත සඳහන් තර්ජනය කොට ලක්ෂ පහක මුදල රැගෙන පලා යද්දී බැංකුවේ ආරක්ෂක අංශ නිලධාරීන් හා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පැහැරගත් මුදල් සියල්ලම සොයාගෙන ඇත. 2006 වසරේ රුසියාවේ වෛද්‍ය විද්‍යාලයකට ඇතුළු වී අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන 2011 වසරේ මෙරටට පැමිණි සැකකරු වෛද්‍ය ශිෂ්‍යයකු බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇතැයි පරීක්ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඔහු සතුව ගිනි අවියක් නොතිබුණ බවද හෙළි වී තිබේ.
සැකකරු එම අවස්ථාවේදී පොලිසියට පවසා ඇත්තේ ණය මුදලක් ගෙවා දැමීමට මෙය සිදුකර ඇති බවයි.
කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මේ වසරේ ආපසු රටින් පිටව යෑමට සූදානම්ව සිටි අයකු බවද හෙළිවී තිබේ.
සැකකරු නිහඬව අයකැමිවරියට ඉදිරිපත් කළ තර්ජනය නිසා බියවූ ඇය රුපියල් පන්දහසේ නෝට්ටුවලින් එම මුදල ලබාදී සැකකරු බැංකු ආයතනයේ ‍ෙදාරෙන් පිටවී පලායෑමට පෙර අනතුරු ඇඟවීමේ සීනුව නාද කිරීම නිසා ආරක්ෂක නිලධාරීන් සහ පොලිසිය එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු රඳවා තබාගැනීමේ නියෝග මත තබාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට කටයුතු කරගෙන යන බවද පොලිසිය පැවැසීය.
පානදුර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි සමන් රත්නායක මහතාගේ උපදෙස් මත පානදුර මූලස්ථාන පොලිස් පරීක්ෂක ජගත් සමරසිංහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නිශාන් සිල්වා යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Share Button

Add a Comment