” KABALI “~ කාලෙකින් වෙනස් රහක් ! ~

මං ජීවිතේ විඳින්න ආස – නැවත නැවත ලබන්න ආස අද්දැකීම් කිහිපයක් තියෙනව. ඒ අතරින් හරිම ඉසියුම් විඳීමක් තමයි ‘දමිළ සිනමාපටයක් දමිළ ප්‍රේක්ෂකාගාරයක් ඇතුළෙ බෙදා හදා ගැනීම.’

ඒක හරියට උණු තෝසෙ දෙක තුනක් රහ උළුඳු වඩේ එක්ක ගිඩි ගිඩියෙ යාර කෝටියක කිරි තේකකින් ආමාශගත වෙනව වගේ අති රස හැඟීමක්. අද රෑ එහෙම රැයක් ! මං එදා ඉඳන් ජනප්‍රිය දහරාවෙ ‘රජිනිට’ ආස ප්‍රේක්ෂකයා නටවන මනුස්සයගෙ ‘ආංගික අභිනෙ’ හින්දා. පිරිමි පෞරුෂ නැළවිල්ල හින්දා. මේ ‘වීරයා’ තාමත් සුපුරුදු හිනාවෙන් කතාවෙන් ලස්සනට රඟපානව. හැබැයි සික්සර්ස් වෙනුවට බවුන්ඩ්‍රීස් වැදිල්ලක් තමයි මට දැනුණේ…

ප්‍රේක්ෂකාගාරයට දිව්‍යමය හෝරාව එළැඹෙන්නෙ ‘රජිනි’ගෙ අත් දෙක පේන්න පටන් ගන්න මුල් දර්ශනයෙන්. හිරෙන් එද්දි ‘බාර් පාරක්’ ගහල ‘හේ…මං තාම සුපර් ස්ටාර්’ කියල වගේ හැඟීමක් නිහඬව පිටකරන රූපෙන්. එතැන ඉඳන් ඉතින් දිගටම ‘මල් – විසිල් – විසිල් – මල්’ විතරයි. හොඳම දේ සිනමාපටය ගලාගෙන යනකොට ප්‍රේක්ෂක නිහැඬියාව ; ඉවසිලිවන්තකම. ළමයි බමයි වුණත් පරිණත ලීලාවකින් වීරත්වය විඳගැනීම. ‘සිපගැනීමක් වෙනකොට’ ගල් ගහන්න ලැහැස්ති වෙන වර්තමාන සමාජෙකට ‘මේ අති විශාල සිනමා රසික ප්‍රේක්ෂකාගාරෙන්’ ලැබෙන්නෙ ඉවසිලිවන්ත උත්තරයක්. ‘රාධිකා ආප්ටේ’ වගේ සරාගී ඇසිල්ලකට වඩාත් දක්ෂ නිළියක් ගැමි පෙනුමෙන් දකිද්දි වුණත් ඔවුන් ඒ ලස්සන ලස්සනට දරාගන්නව. මං පෞද්ගලිකව කැමතියි මෙතනදි ‘kabali’ගෙ බිරිඳ හැටියට ‘ලක්ෂ්මී මෙනන්’ වගේ මාස්ටර්පීස් නිළියක් යොදා ගත්තනං.

‘රජිනි’ තමන්ට අනන්‍ය උරහිස් විලාසිතා – වාචික අභින පිට කරනකොට මට බොහෝ තැන් වලදි ‘ධනුෂ්’ව මැවෙනව. ඒ වගේම මේ සිනමාපටයෙ සහය චරිතයක් කරන ‘අට්ටකත්ති දිනේෂ්’ (හුඟක් අය දන්නෙ එහෙම කිව්වම) නියම තැනින් ස්කෝර් කරනව. රඟපෑම කියන්නෙ මොකක්ද කියල තරුණ පරපුර දන්නව කියල ‘සුපර් ස්ටාර්ට’ ආදරෙන් කියල දෙනව. පැහැදිලිවම ‘කොලිවුඩයට’ කෙළවෙන්නැති අනාගතයක් තියෙනව. හොඳම දේ ඉතිහාසගත දේශපාලනික යටි පෙළක් කතාවට බේස් වෙන එක. මැලේසියාවෙදි වේවා වෙනත් රටකදි වේවා ‘අතීත දෙමළ මිනිසා’ට වුණ අසාධාරණය පෙන්වීම. ජනප්‍රිය දහරාවෙ සිනමාවක් වුණත් බබා පාට් නොදා ‘ඇත්ත’ එළියට දැමීම ! ඔන්න මං දැන් සිනමා ශාලාවෙන් එළියට බහිනව. කොල්ලො සීයක් පන්සීයක් ‘රජිනි’ගෙ දෙබස් මුමුණ මුමුණ හෙට උදේ වැඩට යනව ! සිනමාව කියන්නෙ අන්න ඒක !!

කසුන් මහේන්ද්‍ර හීනටිගල.

Share Button

Add a Comment